ඔබේ හදවත හඳුනාගන්න – 2 : හදවත තුල විද්‍යුත් පරිපථයක්?

අප කතාකරමින් සිටින්නේ හදවතේ ව්‍යුහය පිළිබඳවයි.

ඔබ දන්නවාද හදවත ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් පරිපථයකින් කියලා? එහෙම කීවාට, සියල්ලන්ගේම හදවත තුල වයර් කෑලි, බැටරි තියෙනවා කියලා බය වෙන්න එපා (කෘත්‍රිම හෘද ගතිකර/artificial pacemaker තිබෙන අය ඇරෙන්න). මෙම පරිපථය නැතහොත් “හෘද සන්නායක පද්ධතිය” (Conduction system of the heart) අපගේ හදවත තුල විද්‍යුත් ආවේග ක්‍රමානුකූලව බෙදා හැර, කර්ණිකා හා කෝෂිකා රිද්මයානුකූලව සංකෝචනය කිරීම මගින් හදවත ඵලදායී රුධිර පොම්පයක් බවට පත කරයි. එනිසා මෙහි ක්‍රියාකාරීත්වය අඩපන වීමෙන් අපගේ මරණය පවා සිදුවිය හැකිය.

හෘද සන්නායක පද්ධතිය සෑදී තිබෙන්නේ විශේෂිත හෘද සෛල වලිනි. නමුත් ඒ ගැන කතා කරන්න පෙර හදවතේ ඇති මාංශ පේශී සෛල හෙවත් හෘද සෛල ගැන යමක් කිව යුතුයි. මාංශ පේශී සෛල වල ව්‍යුහය හෝ එහි ක්‍රියාකාරීත්වය ගැන කලින් කතා නොකල නිසා පොඩි හැඳින්වීමක් දෙන්නම්. හෘද සෛල කලින් ලිපියක කතා කල මූලික සෛල ව්‍යුහය දරන මුත්, මේවා තව දුරටත් විශේෂණය වී තිබෙනවා. එම විශේෂණයන් සරලව සඳහන් කළහොත්;

හෘද මාංශ පේශී සෛල

1). ඇක්ටින් (Actin) හා මයෝසින් (Myosin) යන ප්‍රෝටීන පිහිටීම මගින් සංකෝචනය වීමට හැකිවීම. (හෘදය ගැහෙනවා කියන්නේ මෙම සංකෝචනය වීමටයි).

ඇක්ටින්  හා මයෝසින් යන ප්‍රෝටීන තන්තුමය ස්වරූපයක් ගන්න අතර, ඒවා එකිනෙක මැදි කරගත් මිටි වශයෙන් මේ සෛල තුල ඇහිරී ඇත. මෙම පිහිටීමෙන් ඒවා එකිනෙක මත ලිස්සා යෑමේ හැකියාවක් ලැබේ. මේ ඇක්ටින්  හා මයෝසින් තන්තු අතර සාපේක්ෂ චලිතය මගින් මාංශ පේශී සෛල වල සංකෝචනය සිදු වේ.

2). ස්වායක්ත උද්දීප්ත්‍යතාවය (Intrinsic Excitability), එනම් බාහිර ආවේගයකින් තොරව සංකෝචනය වීමේ හැකියාව.

සාමාන්‍ය මාංශ පේශී සංකෝචනයට, එම මාංශ පේශී සෛලයකට ස්නායුවක් මගින් විද්‍යුත් අවේදයක් ලබා දිය යුතුවේ. නමුත් හෘද සෛල සඳහා එවැනි අවශ්‍යතාවයක් නොමැත. ඒවාට ස්වයංක්‍රීය රිද්මිකව සංකෝචනය වීමේ හැකියාවක් ඇත. මෙම රිද්මය පාලනය සඳහා පමණක් ස්නායු ආවේග හා හෝමෝන උපකාරී වේ.

3). හෘද සෛල අතර ඇති ගැප් සන්ධි  (Gap Junctions) වලින් සැදි අන්තරස්තාපිත මඩල (Intercalated discs) ආධාරයෙන් විද්‍යුත් ආවේග එක සෛලයක සිට අනෙකට සම්ප්‍රේෂණය කල හැකි වීම.

සත්ව සෛල වල විශේෂිත සෛල වර්ග වන ස්නායු සෛල වල ආවේග ජනනය හා හා මාංශ පේශී සෛල වල සංකෝචනය සිදු වන්නේ ඉතා කුඩා විදුලි ධාරාවක් සෛල මගින් ජනනය කිරීමෙනි. එය සෛල පටලය හරහා සෝඩියම් (Sodium)හා පොටෑසියම් (Potassium) අයන හුවමාරු කර විද්‍යුත් විභවයක් (Electric potential) ඇති කිරීමෙන් කරනු ලබයි. හදවතේ සාම සෛලයකටම වෙන වෙනම වූ ස්නායු සැපයුමක් නැති අතර, හෘද ගතිකරය (Pacemaker) ආවේග ජනනය කර හදවත පුරා බෙදා හැර, මුළු හදවතම එකවර රිද්මිකව සංකෝචනය කිරීමට මේ අන්තරස්තාපිත මඩල උපකාරී වේ.

හෘද සන්නායක පද්ධතිය (Conduction system of the heart)

හෘද සන්නායක පද්ධතිය සෑදීමට උදව් වන හෘද සෛල හදවත් කුටීර බිත්තියේ ඇතුලත පෘෂ්ඨයට සමීපව පිහිටයි. හෘද සන්නායක සෛල ඉහත මා සඳහන් කල විශේෂණය වීම් දැරුවද ඒවා සංකෝචනය නොවේ. ඒ වෙනුවට විද්‍යුත් ආවේග ජනනය කර බෙදා හැරීම මගින් අනෙක් හෘද සෛල සංකෝචනය කිරීමට උපකාරී වේ.

මෙම පද්ධතියේ ආරම්භක ලක්ෂ්‍යය ලෙස සැලකෙන්නේ සයිනුඒට්‍රීය නෝඩය (Sinoatrial node)  හෙවත් SA නෝඩයයි.  මෙය පිහිටා තිබෙන්නේ උත්තර මහා ශිරාව, දකුණු කර්ණිකාවට ඇතුල් වන ස්ථානයට ආසන්නව, දකුණු කර්ණිකාව තුලයි. මෙහි ඇති සෛල මිනිත්තුවට 60-100 වාරයක් දක්වා ආවේග ජනනය කිරීමට හැකියාවක් දරයි. හදවතේ අනිත් සියලු හෘද සෛල වලට වඩා වැඩි වේගයකින් SA නෝඩ සෛල ආවේග ජනනය කර එය හදවත ගැහෙන වේගය පාලනය කරන නිසා හෘදයේ ගතිකරය (Pacemaker) ලෙස හැඳින්වෙනවා. SA නෝඩයේ ආවේග ජනන වේගය ස්නායු සැපයුම මගින් හා විවිධ හෝමෝන වල බලපෑම මගින් පාලනය කෙරේ.

SA නෝඩය තුල ජනනය වන ආවේග, සන්නායක මාර්ග තුනක් මගින් දකුණු කර්ණිකාව තුලටද, බක්මන් බණ්ඩලය (Buchmann’s bundle) මගින් වම් කර්ණිකාව වෙතටද ගෙන යයි. එමගින් කර්ණිකා වල සංකෝචනය වීම සිදුවේ. ඉහත සඳහන් දකුණු කර්නිකාවේ සන්නායක මාර්ග තුන මගින් එට්‍රියෝවන්ට්‍රිකියුලර් නෝඩය (Atrioventricular node) හෙවත් AV නෝඩය වෙත ආවේග ගෙන  ඒමද සිදුවේ. AV නෝඩය අන්තර් කර්ණික කෝෂික බිත්තියේ පිහිටන අතර (ඉහත රූපය බලන්න), කෝෂිකා වෙත ආවේග ගමන් කිරීම පාලනය කරනු ලබන්නේ මෙතැනිනි. සාමාන්‍ය ක්‍රියාකාරී හදවතක, මෙම AV නෝඩය මගින් ආවේග කෝෂිකා වෙත නිකුත් කිරීම පරක්කු කිරීමක් සිදු කරයි. එහි ප්‍රතිපලය වන්නේ කෝෂිකා කර්ණිකා වලට පසුව සංකෝචනය වීමයි. මෙහි වැදගත්කම නම් කර්ණිකා සංකෝචනය වී එහි ඇති රුධිරය කෝෂිකා වලට ලබාදුන් පසුව පමණක් කෝෂිකා වල සංකෝචනය ආරම්භ වීම සිදු කිරීමයි.

AV නෝඩයට පසු ආවේග හිස්  බන්ඩලයට (His Bundle) ගමන කරන අතර මෙය දෙකට බෙදී වම් හා දකුණු කෝෂිකා වෙත ගමන් කරයි. එම බණ්ඩල වලින් පන නගින කුඩා ප’කින්ජේ තන්තු (Purkinje fibers) කෝෂිකා බිත්තියට ආවේග සපයා කෝෂිකා වල සංකෝචනය සිදු කරයි.

මේ විස්තර කල පිළිවෙලට හදවත තුල විද්‍යුත් ආවේග ගමන් කිරීම හා හෘද ස්ඵන්ධනය සිදුවීම අප වෛද්‍ය විද්‍යාවේදී සයිනස්‌ රිද්මය (Sinus Rhythm) ලෙස හඳුන්වමු. මෙයින් වියුක්ත වන රිද්මයක් “ඇරිද්මියාවක්” (Arrhythmia) ලෙස හැඳින්වේ.

පහත වීඩියෝවෙන් මා මේ විස්තර කල ආවේග සැපයුම හා හදවතේ සංකෝචනය පිලිබඳ වැඩිදුර වැටහීමක් ලබා ගැනීමට හැකිවේ.

මෙම වීඩියෝවේ ECG සටහනක් ඇති බව දකින්න ඇති. අපට ECG නැත්නම් විද්‍යුත් කන්තුක රේඛන (ElectroCardioGram) ලබා ගැනීමට හැකි වන්නේ අපගේ හදවතේ ඇති මේ ඉතා කුඩා විදුලි පරිපථය නිසා වේ. ECG කියවීම පිලිබඳ ලිපියක් මම ඉදිරියට ලියන්නම්.

එහෙනම් නැවත හමුවෙමු. ඉතා ඉක්මනින් ලිපි පල කිරීමට නොහැකි වීම පිලිබඳ මගේ කනගාටුව.

Posted in මිනිස් සිරුර | Tagged , , , , , , , , , , | ප්‍රතිචාර 6

ඔබේ හදවත හඳුනාගන්න – 1

දීර්ඝ නිහැඬියාවකට පස්සේ ඔන්න මම නැවතත් ලියන්න පටන් ගත්තා. පහුගිය කාලය තුල ලියන්න විරාමයක් ලැබුනේ නැහැ. පාඨකයන් බොහොමයකගේ ඉල්ලීම මතයි මං මේ මාතෘකාව තෝරා ගත්තේ.

පිළිසිඳගැන්මෙන් සති තුනක පමණ සිට අප මියෙන තුරාවට අපව ජීවත් කරන හදවත ගැන ඔබ කොපමණ කරුණු ප්‍රමාණයක් දන්නවාද? අප එදිනෙදා ජීවිතයේදී, විශේෂයෙන්ම ලේඛකයන් නිතරම අපගේ හැඟීම් හා සම්බන්ධ කරගෙන “හදවත” කියන වචනය යොදා ගන්නවා නේද? ඉතින් මේ හදවත පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක කරුණු ටිකක් අපි දැන් කතා කරමු.

පිහිටීම

හදවතේ පිහිටීම

හදවතේ පිහිටීම

අපේ සිරුර පුරාවට රුධිරය පොම්ප කරන මේ පුංචි පොම්පය පිහිටලා තියෙන්නේ අපගේ උරස් කූඩුව (Rib Cage) මැද, ටිකක් විතර වම් පැත්තට බරව. වටේටම ඉලඇට (Ribs) වලින් ආවරණය වූ, ඉතා ආරක්‍ෂිත තැනක තමා මෙය පිහිටලා තියෙන්නේ. අපගේ පණ හදවත මගින් සපයනවානම් එය හොඳින් ආරක්ෂා වෙලා තියෙන්නේ ඕනනේ. ඔබගේ හදවත කොච්චර ලොකුද කියලා හිතලා තියෙනවා නම්, සාමාන්‍යයෙන් එය  මිට මොලවාගත් විට ඔබේ අතේ ප්‍රමාණයට ඉතා සමීපයි.

බාහිර පෙනුම

හදවතේ බාහිර පෙනුම

හදවතේ බාහිර පෙනුම

ඉදිරියේ සිට අපගේ හදවත බාහිරින් බලපුවහම මොටවූ අග්‍රයක් ඇති කේතුවක හැඩයක් ගන්නවා. එය මතුපිට හදවතට රුධිරය සපයන කිරීටක ධමනි හා ශිරා (Coronary Arteries and Veins) දැකිය හැකියි. ඒවගේම හදවතට ශරීරයේ සිට රුධිරය ගෙන එන මහා ශිරා ද (Superior Vena Cava and Inferior Vena Cava), පෙනහළු වලින් හදවතට රුධිරය ගෙන එන පුප්පුශීය ශිරාද (Right and Left Pulmonary Arteries) හදවතට පිටුපසින් පිහිටන අතර, හදවතේ ඉහල කොටසින් අපගේ සිරුර වෙත රුධිරය ගෙන යන මහා ධමනිය (Aorta) හා පෙනහළු වෙත රුධිරය ගෙන යන පුප්පුශීය ධමනිය (Pulmonary Artery) දැකගත හැකිය. ඉහත රූපයේ දැකිය නොහැකි වුවද අප හදවත වට  කරමින් තුනී පටල දෙකක් පිහිටනවා. එම පටල හෘදය පටලය/පෙරිකාර්ඩියම (pericardium) ලෙස හැඳින්වෙන අතර ඒවා අතර ඇති හිඩැස තරලයකින් (Pericardial fluid) පිරී තිබේ. මෙය හදවත ස්පන්දනය වීම පහසු කරන ලිහිසි ද්‍රව්‍යයක් (Lubricant) ලෙස ක්‍රියා කරන අතරම හදවතට ආරක්ෂාවද ලබා දේ. හෘද අග්‍රය

අභ්‍යන්තරය

හදවතේ අභ්‍යන්තර ව්‍යුහය

හදවතේ අභ්‍යන්තර ව්‍යුහය

බාහිරින් ඉතා සරල ස්වරූපයක් ගත්තද හදවත ඉතා සංකීර්ණ සැකැස්මක් ඇති ඉතා විශේෂිත අවයවයකි. අපගේ හදවත තුලින් හරස් කඩක ගෙන බැලුවහොත් එය කොටස්/කුටීර හතරකට බෙදී තිබෙනවා. ඒ වම් හා දකුණු කර්ණිකා (Left Atrium and Right Atrium) දෙකක් ලෙසට සහ වම් හා දකුණු කෝෂිකා (Left Ventricle and Right Ventricle) දෙකක් ලෙසටයි. හදවතේ දකුණු පස සිරුරේ ඇති ඔක්සිජන් අඩු රුධිරය ලබාගෙන එය ඔක්සිජන් ලබා ගැනීම සඳහා පෙනහළු වෙත පොම්ප කරන අතර වම් පස පෙනහළු වලින් ලැබෙන ඔක්සිජනීකෘත රුධිරය නැවත සිරුර පුරා පොම්ප කරනු ලබයි. මෙසේ කොටස් වලට බෙදීම මගින් හදවත තුල ඔක්සිජන් අඩු රුධිරය, ඔක්සිජන් වැඩි රුධිරය හා මිශ්‍ර වීම වැලක් වේ. හදවෙතේ සිදුරක් තිබෙනවා යැයි කියනුයේ මෙම කර්ණිකා අතර හෝ කෝෂිකා අතර අසාමාන්‍ය විවර වීමක් ඇතනම්ය.

දකුණු කර්ණිකාවට මුළු සිරුරේම සිට නැවත පැමිණෙන රුධිරය ලබා දෙන උත්තර හා අධර මහා ශිරා (Superior and Inferior Vena Cava) විවෘත වේ. වම් පස කර්ණිකාවට පෙනහළු වලින් නැවත පැමිණෙන රුධිරය ලබා දෙන පුප්පුශීය ශිරා (Pulmonary Veins) විවෘත වේ. දකුණු කෝෂිකාවේ සිට පෙනහළු වෙත දිවෙන පුප්පුශීය ධමනිය (Pulmonary Artery) ආරම්භ වන අතර වම් කෝෂිකාවේ සිට  මුළු සිරුරටම ඔක්සිජනීකෘත රුධිරය ලබාදෙන මහා ධමනිය (Aorta) ආරම්භ වේ.

හදවත තුල රුධිර ගමනාගමනය පාලනය කිරීමට දොරටු නැත්නම් කපාට (Valves) කිහිපයක් පිහිටා තිබෙනවා. එම කපාට මගින් හෘද කුටීර සංකෝචනය වී රුධිරය පොම්ප කල පසු, නැවත එම කුටීරය වෙත රුධිරය ආපස්සට පමුනීම වලක්වයි. දකුණු පස කර්ණිකාව හා කෝෂිකාව අතර කොටස්/පත්‍රිකා තුනකින් සැදි ත්‍රිතුන්ඩ (Tri-cuspid valve) කපාටයද දකුණු කෝෂිකාව හා පුප්පුශීය ධමනිය අතර අඩසඳ කපාටයද පිහිටයි. එලෙසම වම් පස කර්ණිකාව හා කෝෂිකාව අතර කොටස්/පත්‍රිකා  දෙකකින් සැදි ද්විතුන්ඩ (Bi-cuspid valve) කපාටය හා කෝෂිකාව හා මහා ධමනිය අතර අඩසඳ කපාටය පිහිටා ඇත. මෙම අඩසඳ කපාට (Semi-lunar valves) වලට එම නම ලැබී ඇත්තේ ඒවා අර්ධ වෘත්තාකාර කොටස් තුනකින් සැදී ඇති නිසයි. ඉහත රූපය බලද්දී ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න ඇති කණ්ඩරීය රජ්ජු කියන්නේ මොනවාද කියලා. ඒවා කුඩා රැහැන් විශේෂයක් වන අතර කෝෂිකා වල සිට ද්විතුන්ඩ හා ත්‍රිතුන්ඩ කපාට වල පත්‍රිකා වලට බැඳේ. එමගින් එම පත්‍රිකා වලට වැඩි ශක්තියක් ලැබේ.

හදවත ගැන තවත් තොරතුරු කතා කිරීමට මීළඟ ලිපියෙන් හමුවෙමු!

Posted in මිනිස් සිරුර | Tagged , , , , , , , , | ප්‍රතිචාර 6

නිහැඬියාව පිලිබඳ…

පසුගිය කාලය තුල මා ඉතා කාර්ය බහුල වීම නිසා ලිවීමට නොහැකි විය. ඒ පිලිබඳ මාගේ කණගාටුව ප්‍රකාශ කරමි. ලබන මස සිට තරමක් වැඩ අඩු වන නිසා මා නැවත ලිවීමට පටන් ගන්නනම්.

Posted in ප්‍රවර්ග නොකළ | ප්‍රතිචාර 3

රුධිර පරීක්ෂණ වාර්තාවක්‌ කියවන හැටි

ඔයාලා හැමෝම වගේ කවදා හරි රුධිර පරීක්ෂණයක් කරලා ඇති නේ? මේ පරීක්ෂණයෙන් පසු ලැබුණු වාර්තාව කියවා තිබෙනවාද? උදාහරණයක් ලෙස පහත දක්වා තිබෙන්නේ එවැනි වාර්තාවක්.

ඕනෑම රසායනාගාර වාර්ථාවක් ගත්තහම එහි පළමුව කර ඇති පරීක්ෂණයේ නම ද (Test), ඉන්පසු එම පරීක්ෂණයේ ප්‍රතිඵලයද (Result), එම ප්‍රතිඵලයට අදාළ ඒකකය (Units) හා එම රසායනාගාරයේ එම පරීක්ෂාව සඳහා දෙන සාමාන්‍ය අගයයන්ගේ පරාසය (Normal Range) සඳහන් කෙරෙනවා. මෙම සාමාන්‍යය අගයයන්ගේ පරාසය රටින් රටට වෙනස් වීමට පුළුවන. අපි දැන් රුධිර පරීක්ෂණ වාර්තාවක ඇති විවිධ කරුණු පිලිබඳ කතා කරමු.

Hb: රුධිරයේ ඇති හිමොග්ලොබින් (Hemoglobin) ප්‍රමාණය මෙයින් දැක්වේ. පිරිමි අය තුල සාමාන්‍යයෙන් ඉහල හිමොග්ලොබින් ප්‍රමාණයක් ඇති නිසා මෙය පුරුෂ හා ස්ත්‍රී යන අගයයන් දෙකකින් සඳහන් කරනු ලබයි. මෙහි අගය ඩෙසිලීටරයකට ඇති ග්රෑම් ප්‍රමාණය (g/dL) ලෙස ගණනය කෙරේ. සාමාන්‍ය වැඩිහිටි පුරුෂයකු සඳහා අගය 13 – 16  g/dL  වන අතර වැඩිහිටි ස්ත්‍රියක අගය 12 – 15 g/dL වේ. මෙම පරාසයට වඩා අඩු ප්‍රමාණයක් හිමොග්ලොබින් ඇත්නම් එය රක්තහීනතාවය (Anemia) නිසා වීමට පුළුවන.

WBC: ලේ වල ඇති මුළු සුදු රුධිරාණු ප්‍රමාණය (White Blood Count) මෙයින් දැක්වේ. මෙය මයික්‍රෝලීටරයට ඇති සෛල ප්‍රමාණය ලෙස දක්වනු ලබයි. සාමාන්‍යය අගයය 4000 – 11000 වේ. බොහොමයක් බැක්ටීරීය ආසාදන වලදී මෙය ඉහල අගයයක් ගනු ලබයි.

Platelets: ලේ වල මයික්‍රෝලීටරයට ඇති රුධිර පට්ටිකා අගයය මෙයින් දෙනු ලැබේ. එහි සාමාන්‍යය අගයය මයික්‍රෝලීටරයට 150000 – 450000 පමණඅ වේ. ඩෙංගු රෝගීන් ගේ රෝග තත්වය නිර්ණය කිරීම සඳහා නිතරම කරනු ලබන පරීක්ෂාව මෙයයි.

DLC: මෙයින් විශේෂක සුදු රුධිරාණු ප්‍රමාණය (Differential Leukocyte Count) යන්න අදහස් කෙරේ. කලින් ලිපියක සඳහන් කල විවිධ සුදු රුධිරානු වර්ග වල අගයයන් මෙයින් මනිණු ලබයි. එම අගයයන් ආශ්‍රයෙන් වෛද්‍යවරුන් හට ඇතිවී ඇති රෝග තත්වය පිලිබඳ අනුමානයන් කිරීමටත්, දැනට තීරණය කර ඇති රෝග විනිශ්චය තහවුරු කර ගැනීමටත් ඉඩ ලැබේ. උදාහරණයක් ලෙස බැක්ටීරීය ආසාදනයකදී සාමාන්‍යයෙන් නියුට්‍රොෆිල ප්‍රමාණය ඉහල යන අතර, වෛරස ආසාදනයකදී වසා සෛල ප්‍රමාණය ඉහල අගයයක් ගනී. මෙහි ප්‍රතිඵලය එම සෛල වර්ගය  මුළු සුදු රුධිරානු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස සඳහන් කෙරේ. පහත දැක්වෙන්නේ එහි සාමාන්‍යය අගයයන් වේ.

Neutrophils:  40 – 70%

Bands:  0 – 5%

Lymphocytes:  20 -50%

Monocytes:  4- 8%

Eosinophils:  0 – 6%

Basophils:  0 – 2%

කලින් ලිපි කියවූ අයට ප්‍රශ්නයක් වෙන්න ඇති මෙහි බෑන්ඩ්ස් (Bands/Band cells) ලෙස හැඳින්වෙනුයේ මොනාද කියලා, මොකද එහෙම වර්ගයක් ගැන අප කතා නොකළ නිසා. බෑන්ඩ්ස් ලෙස හැඳින්වෙනුයේ නොමේරු සුදු රුධිරානුය. යම් මූලික ආසාදන (Acute Infection) අවස්ථා වලදී මෙය ඉහල අගයයක් ගනී. මන්ද යත් ආසාදනයක් ගැන දැනගත් විට ඇටමිදුළු සුදු රුධිරානු වැඩියෙන් නිෂ්පාදනය කිරීමත්, ඉක්මනින් ඇටමිදුළු තුලින් නිකුත් කිරීමත් කරන බැවිනි.

RBC Indices: රතු රුධිරාණු වල විවිධ ගුණාංග පිළිබඳ මෙහිදී අධ්‍යයනය කරනු ලබයි. මේ කරුණු රක්තහීනතා තත්ව වලදී, එම තත්වයට හේතුව සොයා ගැනීම සඳහා උපකාරී වේ.

RBC: රතු රුධිරාණු ප්‍රමාණය (Red Blood Count) මෙමගින් දැක්වේ. පුරුෂයින්ගේ මෙය මයික්රෝලීටරයට සෛල මිලියන 4.5 – 6.5 ත් අතර වන අතර ස්ත්‍රීන්ගේ මයික්රෝලීටරයට සෛල මිලියන 4.0 – 5.5 ත් අතර ප්‍රමාණයක් වේ.

Hct: රුධිරයේ සෛල ප්‍රතිශතය මෙමගින් මනිනු ලැබේ. සාමාන්‍යයෙන් පුරුෂයින්ගේ මෙය 39% – 47% ත් අතර වන අතර ස්ත්‍රීන්ගේ 35% – 45% ත් අතර ප්‍රමාණයක් වේ.

MCV: මෙමගින් රතු රුධිරාණුවක සාමාන්‍යය පරිමාව (Mean Corpuscular Volume) මනිනු ලැබේ. එහි අගයය ෆෙම්ටෝලීටර (fL) වලින් මනින අතර සාමාන්‍යය පරාසය 79 – 93 fL වේ. යකඩ අඩුවීම නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වන අතර, විටමින් බී හා ෆොලේට් වැනි විටමින් ඌනතා වලදී මෙය ඉහල අගයයක් ගනී.

MCH: එක රතු රුධිරානුවක ඇති හෙමොග්ලොබින් ප්‍රමාණයේ සාමාන්‍යය (Mean Corpuscular Hemoglobin) මෙමගින් මනිනු ලබයි. සෛලයකට පිකෝග්රෑම් (pg/cell) ලෙස මෙය පනිනු ලබන අතර සාමාන්‍ය පරාසය 27 – 32 pg/cell වේ. යකඩ ඌනතාවය නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වේ.

MCHC: එක රතු රුධිරානුවක් සඳහා හෙමොග්ලොබින් සාන්ද්‍රණය (Mean Corpuscular Hemoglobin Concentration) මෙම දර්ශකයෙන් දෙනු ලැබේ. එහි සාමාන්‍ය අගය ඩෙසිලීටරයකට ග්රෑම් 32 – 36 අතර වේ.

Reticulocyte count : රුධිරයේ ඇති නොමේරූ රතු රුධිරාණු (Reticulocytes) ප්‍රමාණය මුළු රතු රුධිරාණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කර මෙම අගය ලබා ගනී. සාමාන්‍යයෙන් මෙය 0.8% – 2.5% ත් අතර ප්‍රමාණයක් ගන්නා අතර රතු රුධිරාණු යම ආකාරයකින් විනාශ වූ විටක හා රුධිර වාහනයක් ඇතිවූ විටෙක ඇටමිදුළු වලින්නොමේරූ රතු රුධිරාණු වැඩි වැඩියෙන නිකුත් කිරීම නිසා මෙහි අගය ඉහල යා හැකිය.

ඉස්සර නම් මෙම පරීක්ෂණ හැම එකක්ම වගේ අන්වීක්ෂ, කේන්ද්‍රාපසාරක (Centrifuges) වැනි මෙවලම් යොදාගෙන රසායනාගාර සේවකයන් විසින් විශාල කාලයක් මිඩංගු කර ගණනය කලද අද කාලයේ මේ සඳහා ස්වයංක්‍රීය සෛල ගණක (Automated Cell Counter) යන්ත්‍ර යොදා ගෙන මිනිත්තු ගණනාවක් ඇතුලත ගණනය කරනු ලබයි. පහත දක්වා ඇත්තේ මෙවන් ස්වයංක්‍රීය සෛල ගණක (Automated Cell Counter) යන්ත්‍රයක් භාවිතා කරන රූපයකි.

සැලකිය යුතුයි! : රුධිර වාර්තාවක් කියවා තේරුම් ගැනීම ඉතා හොඳ කරුණක් වන අතර එමගින් තම රෝගී තත්වය පිළිබඳ වැටහීම වැඩි කර ගැනීමට ඔබට හැකි වේ. නමුත් රෝග විනිශ්චය (Diagnosis) තනිකරම පරීක්ෂණ වාර්තා මත රඳා පවතින්නක් නොවන බව ඔබ දැන ගත යුතුය. රෝග විනිශ්චය කිරීම සඳහා රෝගියාගේ රෝග ලක්ෂණ (History), වෛද්‍ය පරීක්ෂාව (Physical Examination) හා වෙනත් රෝගයට අදාළ කරුණු සියල්ල සලකා බැලිය යුතුය. එනිසා මම රසායනාගාර වාර්තා මත පදනම් කරගෙන තනිව බෙහෙත් ගැනීමෙන් වලකින ලෙසද ඕනෑම රෝගී තත්වයකදී රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකු හමුවී බෙහෙත් ලබා ගන්නා ලෙසද ඔබගෙන් ඉල්ලා සිටිමි.

මෙහි සඳහන් විවිධ සෛල වර්ග පිලිබඳ වැඩිදුර කියවීමට පහත යොමු බලන්න:

අසිරිමත් මිනිස් සිරුර – 5 : ලේ රතු පාට ඇයි?

අසිරිමත් මිනිස් සිරුර – 6 : සතුරු උවදුරු වලින් අප බේරාගන්නා සිරුරේ හමුදාව

අසිරිමත් මිනිස් සිරුර – 7 : ලේ ගැලීම වලක්වන රුධිර පට්ටිකා

නැවත හමුවමු!

Posted in රසායනාගාර පරීක්ෂණ, රෝග | Tagged | ප්‍රතිචාර 15

අසිරිමත් මිනිස් සිරුර – 7 : ලේ ගැලීම වලක්වන රුධිර පට්ටිකා

අද රුධිරයේ සංයුතියට දායක වන අවසාන සෛල වර්ගය වන රුධිර පට්ටිකා මොනවාදැයි කියා බලමු.

රුධිර පට්ටිකා (Platelets):

රුධිර පට්ටිකා සෛල ලෙස හඳුන්වා අපි නිතර කතා කලත්, ඒවා ඇත්තටම සෛල නොවේ. මේවා ඇටමිදුළු වල පවතින මෙගාකැරියෝසයිට (Megakaryocytes) නම් සෛල වල කොටස් අංකුරනය (budding) වීම මගින්. වම් පස රූපයේ පෙනෙන පරිදි ඒවා ඉතාමත් කුඩා දේහයන්ගෙන් සමන්විත වේ.සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිරුරේ ලේ වල මයික්රෝලීටරයට 150000-450000 අතර ප්‍රමාණයක් රුධිර පට්ටිකා පවතිනවා.

රුධිර පට්ටිකා වල ප්‍රධාන කාර්යය අපේ ශරීරයේ කිසියම් තැනක තුවාලයක් ඇති උනොත් ලේ ගලන එක නැවැත්වීමට ක්‍රියා කිරීමයි. එය විවිධ පියවර කිහිපයකින් යුතු සංකීර්ණ ක්‍රියාවලියක්‌. නමුත් කෙටියෙන් පවසනවානම් එහිදී වෙන්නේ යම් රුධිර වාහිනියකට අනතුරක් සිදු උනොත්, එහි බිත්තියේ ඇති සෛල මගින් විවිධ රසායනික සංඥා නිකුත් කර මෙය අනෙකුත් සෛල වලට දන්වා සිටිනවා. ඉතින් මෙය රුධිර පට්ටිකාවකට දැන ගන්නට ලැබුනම එය ක්‍රියාකාරී තත්වයට පත් වී රුධිර කැටි ගැසීමට අවශ්‍ය තවත් රසායනික සංඥා නිකුත් කරනවා. මෙය තව තවත් රුධිර පට්ටිකා එතනට කැඳවීමට උදව් වෙනවා. අවසාන ප්‍රථිඵලය රුධිර නාලයේ අනතුරට බඳුන් උන තැන ඇති විවරය රුධිර පට්ටිකා වලින් හා ෆයිබ්‍රින් නම් ප්‍රෝටීන වලින් සැදි ඇබයකින් අවහිර වීමයි.

රුධිර පට්ටිකා අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු උන විට එම තත්වය ත්රොම්බෝසයිටෝපීනියා (Thrombocytopenia) ලෙස හඳුන්වන අතර එවිට සුළු තුවාලයක් උනත් නොනවත්වා ලේ ගැලීම සිදුවේ. ඩෙංගු රෝගයේදී අභ්‍යන්තර රුධිර වහනය සිදු වෙන්නෙත් මේ රුධිර පට්ටිකා ප්‍රමාණය ඉතා අඩු වීමෙන්. ඒ වගේම රුධිර පට්ටිකා අනවශ්‍ය පරිදි වැඩි උනොත් (Thrombocytosis) සිරුරේ තැන තැන ලේ කැටි ඇති වීමට එය හේතුවක් වනවා.

Posted in මිනිස් සිරුර | Tagged , , , | ප්‍රතිචාර 4

අසිරිමත් මිනිස් සිරුර – 6 : සතුරු උවදුරු වලින් අප බේරාගන්නා සිරුරේ හමුදාව

ඔයාලට පුදුම හිතෙයි මං කීවොත් අපි ජීවත් වෙන පරිසරය අපිව ගොදුරු කරගන්නට බලා සිටින සතුරන්ගෙන් පිරී තියෙනවා කියලා. ඔව් ඒක ඇත්ත! අපිට නොපෙනුනාට අපගේ පරිසරය ක්ෂුද්‍රජීවින්ගෙන් පිරී පවතිනවා. අපේ ගෙවත්තේ පස් තේ හැන්දක් ගත්තොත් ඒ තුල බැක්ටීරියා මිලියන 100ත් – බිලියනයත් අතර ප්‍රමාණයක් වැනි ඇති විශාල සංඛ්‍යාවක් සිටින්න පුළුවන්. මෙයාලගේ එකම අරමුණ තමා කෑමට ආහාරත් ජීවත් වෙන්න ගෙයකුත් සපයන තැනකට වෙලා තමුන්ගේ පරපුර බෝ කරන එක. එයාලට අවශ්‍ය කෑම බීම නවාතැන් සපයන්න හොඳම තැනක් තමා මනුෂ්‍ය ශරීරය. මොකද අපේ ඇඟේ ඇති තරම් වතුර, කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ඛනිජ ලවණ ගබඩා වෙලා තියෙන එකත්, අවශ්‍ය උණුසුම සපයන එකත් හින්දා.නමුත් අපිට මේ කරදර වලින් බේරෙන්න ස්වභාවධර්මයෙන් ආරක්ෂක බාධක හා  ආරක්ෂක හමුදාවක් ලබා දීල තියෙනවා. මේ මුළු ආරක්ෂක පද්ධතියට අපි සිරුරේ “ප්‍රතිශක්තීකරණ පද්ධතිය” (Immune system) කියලා කියනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආරක්ෂක හමුදාව ගැන.

සුදු රුධිරාණු (White Blood Cells) :

අපේ ශරීරය ලෙඩ කරන්න බාහිරින් ඇතුල් වෙන බැක්ටීරියා, වෛරස, දිලීර වගේ දේවල් වලට විරුද්ධව සටන් කරන හමුදාව තමා සුදු රුධිරාණු. රටක ත්‍රිවිධ හමුදාවක් තියෙනවා වගේ සුදු රුධිරාණු වර්ග කීපයක් අපේ සිරුරේ තියෙනවා. නියුට්‍රොෆිල, බේසොෆිල, ඉයසිනොෆිල, මොනොසයිට හා වසා සෛල ලෙස මේවා දක්වන්න පුළුවන්. පහල පින්තුරේ තියෙන්නේ එයාලව අන්වීක්ෂේකින් බලපුවහම පේන හැටි තමා.

සාමාන්‍යයෙන් නිරෝගී කෙනෙකුගේ ලේ වල සුදු රුධිරාණු මයික්‍රෝ ලීටරයට 4000 – 11000 අතර ප්‍රමාණයක් තිබෙනවා. අපිට බැක්ටීරියා වැනි ක්ෂුද්‍රජීවී ප්‍රහාරයක් එල්ල උනාම මේ ප්‍රමාණය ඉහල යන එකත්, අපේ ඇඟේ සුදු රුධිරාණු නිපදවෙන එක අඩු උනාම හා ඩෙංගු වැනි වෛරස අතුලු උනාම සුදු රුධිරාණු ප්‍රමාණය පහල යන එකත් සිද්ධ වෙනවා. ඒ වගේම ලියුකීමියා වගේ රුධිරයේ පිළිකා තත්ව වලදී මුළු සුදු රුධිරාණු ප්‍රමාණය මයික්‍රෝ ලීටරයට 100000 වැනි ඉතා ඉහල අගයන් ගන්න පුළුවන්.

ඊළඟට අපි මේ එක එක මුහුණු තියෙන සුදු රුධිරාණු හමුදාව කරන වැඩ මොනාද කියලා බලමු.

ඉහත ලියාපු නියුට්‍රොෆිල, බේසොෆිල, ඉයසිනොෆිල කියන අය ග්රැනියුලෝසයිට (Granulocytes) කියලා කණ්ඩායමක් විදිහට අපි හඳුන්වනවා ඒකට හේතුව තමා මේ සෛල ඇතුලේ විවධ රසායනික අණු වලින් පිරි මලු/අංශු (granules) පිහිටීම. පහත තිබෙන අන්වීක්ෂීය රූප වල තිත් වශයෙන් පෙනෙන්නේ ඒ රසායනික මලු නැත්නම් අංශු. ඒ වගේම එයාලට පොදු දෙයක් තමා සෛල න්‍යෂ්ටිය කොටස් කිහිපයකට ඛණ්ඩනය වී පැවතීම.

නියුට්‍රෝෆිල (Neutrophils):


නියුට්‍රොෆිල හරියට පොලිසිය වගේ තමා ක්‍රියා කරන්නේ. ශරීරයේ කොතැනක හරි යම් කිසි සැක කටයුතු යමක්, ඒ කිව්වේ ක්ෂුද්‍රජීවී පහර දීමක් වගේ දෙයක් සිද්ධ වෙන බව ඉව වැටිච්ච ගමන් මේ කට්ටිය එතනට දුවගෙන එනවා. මෙයාල සාමාන්‍යයෙන් අපේ සිරුර පුරා ගමන් කරමින් එයාලට හමුවෙන හානිකර ක්ෂුද්‍රජීවීන් ගිල දමනවා. ඔව් ඇත්තටම ගිලින එක තමා  කරන්නේ. මේ සෛල ඇතුලේ ක්ෂුද්‍රජීවීන්ට අහිතකර රසායනික ද්‍රව්‍ය (පෙරොක්සයිඩ, සුපර්ඔක්සයිඩ) පිරි මලු තියෙනවා (ඉහත රූපයේ මැද ඇති විශාල සෛලය). ඉතින් ක්ෂුද්‍රජීවියෙක්ව ගිල්ලට පස්සේ මේ මලු වල තියෙන විෂ වලින් ඒ ක්ෂුද්‍රජීවීන්ව අඩපණ කරනවා. පහල වීඩියෝ එකේ තියෙන්නේ ඒක කරන හැටි. මැද ඉන්න ලොකු සෛලය තමා නියුට්‍රොෆිලය, වටේට තියෙන සුදු තිත් වලින් පේන්නේ දිලීර කොනීඩියා. නියුට්‍රොෆිලයකට ගිලීමට නොහැකි තරම් විශාල දෙයක් හමු උනොත් ඒ ගොල්ලෝ අර මලු වල තියෙන විෂ ද්‍රව්‍ය වලින් ඒ හානිකර දෙයට පහර දෙන එකයි.

බේසොෆිල (Basophils) හා ඉයසිනොෆිල (Eosinophils):

මේ දෙන්නා ගැන ඒකට ලියන්නේ එයාලා කරන කාර්යයන් බොහෝ දුරට සමාන නිසයි. බේසොෆිල වලට ඒ නම ලැබෙන්නේ එහි තිබෙන රසායනික මලු භාෂ්මික ඩයි වර්ග උරා ගැනීම නිසයි. ඒ වගේම ඉයසිනොෆිල වල රසායනිම මලු ආම්ලික ඩයි වර්ග වලින් පාට වෙන හින්දා ඊට ඒ නම ලැබෙනවා. ඉහත රූපයේ වම් පසින් බේසොෆිලයක්ද (නිල්/දම් තිත් ඇති විශාල සෛලය) දකුණු පසින් ඉයසිනොෆිලද (රතු තිත් ඇති විශාල සෛල) පෙන්නුම් කෙරෙනවා.

මේ ගොල්ලන් කරන ප්‍රධාන කාර්යය තමා සතුරු උපද්‍රව්‍යයක් හඳුනාගත් විට එම ස්ථානයට අනෙකුත් සුදු රුධිරාණු කැඳවීම. ඒ සඳහා ඔවුන් ගබඩා කරගෙන ඉන්න රසායනික ද්‍රව්‍ය බාහිරයට මුදා හරිනවා. එම රසායනික අනෙක් සුදු රුධිරාණු වලට සංඥා (Chemokines) වශයෙන් ක්‍රියා කිරීමත්, එම රුධිරාණු වලට රුධිර නාලිකා වලින් පිටතට පැමිණීමට රුධිර නාලිකාවල තිබෙන කුඩා දොරටු විවර කිරීමත්, එම පටකයට රුධිර සැපයුම වැඩි කිරීමත් සිදු කරනවා. මෙයාල කරන තවත් දෙයක් තමා අපේ සිරුරට ඇතුළු වෙන පණුවන් වැනි විශාල පරපෝෂී ජීවීන් හා දිලීර වැනි ජීවීන්ට පහර දී විනාශ කිරීම.

නමුත් සමහර වෙලාවට මේ සෛල වල අධි ක්‍රියාකාරීත්වය නිසා අපිට ලෙඩ රෝග ඇති වෙනවා. ඊට හේතුව තමා මේ සෛල අප පරිසරයේ පවතින මල් පරාග, දුහුවිලි වගේ දේවල් වලට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගැනීම. එවිට ඇදුම, පීනස වගේ රෝග ඇති වෙනවා.

මොනොසයිට(Monocyte):

මොනොසයිට රුධිර නාලිකා තුල පවතින්නේ අක්‍රිය තත්වයකයි. නමුත් සිරුරේ යම් තැනක ආසාදිත තත්වයක් තිබේ නම් මේ සෛල එතැනට ගොස් තම වේශය මැක්‍රෝෆේජ (Macrophage) නැත්නම් මහාභාක්ෂක සෛල වලට වෙනස් කරගන්නවා. ඉහත රූපයේ වම් පසින් මොනොසයිටයක්ද දකුණු පසින් මහාභාක්ෂක සෛලයක්ද පෙන්නුම් කෙරෙනවා. මහාභාක්ෂක සෛල අපගේ සිරුරට අයත් නොවන සියලු  දෙයක්ම වගේ ගිලලා විනාශ කරනවා. ඒ සෛල තුලත් බාහිරින් එන අහිතකර දේ වලට පහර දෙන්න විවිධ රසායනික අණු වලින් පිරි බහලුම් තිබෙනවා. යම් කිසි වෙලාවක විනාශ කිරිඉමට බැරි ඇස්බැස්ටෝස් වැනි දෙයක් නම්, සිරුරේ අනිත් සෛල වලට හානියක් නොවෙන විදිහට ඒක ගබඩා කර රඳවා ගන්නවා.

වසා සෛල (Lymphocytes):

ඉහත රූපේ මැද ඉන්නේ වසා සෛලයක්. ශරීරයේ වසා සෛල ප්‍රධාන කාණ්ඩ දෙකකුත් එම කාණ්ඩ වල අනු ප්‍රභේද කිහිපය බැගිනුත් තිබෙනවා. එම වසා සෛල වල ප්ලාස්ම පටලයේ පවතින විවිධ ප්‍රෝටීන සංඥා අණු (Clonal Differentiation Proteins /CD Proteins) වලින් අපිට මේ සෛල වර්ග වෙන කර හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. නැතිනම් සියලු වසා සෛල වල මුහුණුවර එක වගේ. පහත දැක්වෙන්නේ එම වර්ග පිලිබඳ කෙටි හැඳින්වීමක්.

1. T වසා සෛල

T වසා සෛල වලට T විශේෂණය ලැබෙන්නේ එම සෛල ඇටමිදුළු වලින් නිපදවුනාට පසු ඒවා සක්‍රිය වෙන්නේ තයිමස් ග්‍රන්ථියේ (Thymus Gland) නිසයි. මේ සෛල මගින් අපට ලබාදෙන ප්‍රතිශක්තිය සෛලීය ප්‍රතිශක්තිය (Cell mediated immunity) ලෙස හඳුන්වනවා. ඊට හේතුව  වන්නේ ප්‍රතිශක්තිකරණය අහිතකර ක්ෂුද්‍රජීවීන් එම සෛල විසින්ම විනාශ කර දැමීම ක්‍රියාව සිදු කිරීමයි.

i. සයිටෝටොක්සික T වසා සෛල (Cytotoxic T lymphocytes)

මේ සෛල අපේ සිරුරට අයත් නොවේ යැයි හැඟෙන සෛල විනාශ කරන නිසා සයිටෝටොක්සික (සෛල වලට විෂ) යන නම ලබා දී තිබෙනවා. සිරුරේ තිබෙන වයිරස් වලින් ආසාදිත සෛල හා පිළිකා සෛල වැනි සෛල හඳුනාගෙන ඒවා විනාශ කිරිඉම මෙමගින් සිදු වේ.

ii. මෙමරි T වසා සෛල (Memory T lymphocytes)

මේ සෛල අපේ සිරුරට යම් ආසාදනයක් ඇති වූ විට එම ආසාදනය පිලිබඳ තොරතුරු රසායනික සංඥා විදිහට මතක තියා ගන්නවා. එයින් පසු නැවතත් එම තත්වයම ඇති උනොත් විවිධ රසායනික සංඥා (Cytokines) මුදා හැරලා අනෙකුත් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ සෛල එතනට කැඳවා ක්‍රියාත්මක කරවනවා.

iii. රෙගියුලේටරි T වසා සෛල (Regulatory T lymphocytes)

ඉහත සයිටෝටොක්සික ටී වසා සෛල වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට මේ සෛල උදව වෙනවා. මිලිටරි පොලිසිය වගේ. නැත්නම් එයාල අපේ සිරුරේ සෛලත් එකින එක මරමින් යන්න පටන් ගන්නවා.

iv. නැචුරල් කිලර් T වසා සෛල (Natural Killer T lymphocytes)/(NKT cells)

මේ ගොල්ලොන්ගේ නමින්ම තේරෙනවනේ එයාලගේ වැඩේ මොකක්ද කියලා. (ස්වභාවික මාරක සෛල! ). මෙයාලත් ඉහත සයිටෝටොක්සික ටී වසා සෛල කරන කාර්යයම කලත් එය කරන පිළිවෙල ටිකක් වෙනස්. එම වෙනස ඇති වන්නේ මෙම සෛල දෙවර්ගය ආසාදිත සෛලයන් හඳුනාගන්න යොදාගන්නා ක්‍රමය තුලිනුයි.

2. B වසා සෛල

B විශේෂණය ලැබෙන්නේ එම සෛල ඇටමිදුළු වලින් නිපදවුනාට පසු ඒවා සක්‍රිය වෙන්නේ බර්සා ක්ලොවකාලිස් (Bursa cloacalis) තුල නිසයි. ඇත්තටම මෙය මිනිස් සිරුරට අයිති අවයවයක් නෙමෙයි. බර්සා ක්ලොවකාලිස් පිහිටන්නේ කුරුල්ලන් තුල. මුලින්ම මෙම බී වසා සෛල වල ක්‍රියාකාරීත්වය කුරුල්ලන් තුල අධ්‍යයනය කරපු නිසා මේ නම ලැබිල තියෙන්නේ. මේ සෛල මගින් අපට ලබාදෙන ප්‍රතිශක්තිය සෛලීය ප්‍රතිශක්තිය (Cell mediated immunity) ලෙස හඳුන්වනවා.

i. ප්ලාස්මා සෛල (Plasma Cells)

B වසා සෛල අපේ හමුදාවේ කාලතුවක්කු ඛණ්ඩය වගේ. එම සෛලවලට සතුරන් පිලිබඳ සංඥාවක් ලැබුනම එම සතුරන්ට විරුද්ධව ප්‍රතිදේහ අණු (Anti-bodies) නිපදවල ඒවයින් සතුරන්ට පහර දීම සිදු කරනවා. මෙම ප්‍රතිදේහ අණු ක්ෂුද්‍රජීවීන් මත ඇලීම මගින් කෙලින්ම ක්ෂුද්‍රජීවීන් අඩපණ කිරීමක් සිදු නොවුනත්, එය අනෙකුත් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ සෛල වලට සතුරන් පහසුවෙන් හඳුනාගෙන විනාශ කිරිමට උපකාරී වෙනවා.

ii. මෙමරි B වසා සෛල (Memory B lymphocytes)

මේ සෛල යම් ආසාදනයක් ඇති වූ විට එම ආසාදනය පිලිබඳ තොරතුරු රසායනික සංඥා විදිහට මතක තියා ගන්නවා. එයින් පසු නැවතත් එම තත්වයම ඇති උනොත් ඉතා ඉකමනින් ක්‍රියාත්මක වී එම සෛල බෙදීම මගින් එම ආසාදනයට විශේෂිත B වසා සෛල සංඛ්‍යාව වැඩි කිරීම සිදු කර පහසුවෙන් ආසාදනය මද පවත්වනවා.

ප්‍රශ්නයක්!!

ඔයාලට මේ ලිපිය කියවද්දී හිතුනද මෙච්චර සෛල මැරීමට හැකියාව තිබෙන සෛල වරද රාශිය අපේ ශරීරයේ සාමාන්‍ය සෛල වලට පහර නොදෙන්නේ ඇයි කියලා? ඇත්තටම ඉහත සෛල වර්ග අපේ ඇටමිදුළු වල නිපදවෙද්දී සෛල තේරීමක් සිදු කෙරෙනවා.

යම් පුද්ගලයකුගේ ශරීරයේ සෛල හැම එකකම මතුපිට එම පුද්ගලයාට සුවිශේෂී ප්‍රෝටීන සංඛේත (MHC Class I proteins) තිබෙනවා. ඉතින් ඉහත කියපු ප්‍රතිශක්තීකරණ සෛල මේ සංඛේත හඳුනාගෙන සාමාන්‍ය සෛල වලට පහරදීමෙන් වැළකෙනවා. ඒ වගේම ඇටමිදුළු වල නිපදවෙද්දී එම පුද්ගලයාගේ සෛල වරට එරෙහිව ක්‍රියාකිරීමට පටන් ගන්න ප්‍රතිශක්තීකරණ සෛල විනාශ කිරීමත් සිදු වෙනවා. එමගින් අපේ ශරීරයේ සාමාන්‍ය සෛල වලට සාමාන්‍ය ප්‍රතිශක්තීකරණ සෛල පහර දෙන්නේ නැහැ.

නමුත් සමහර ලෙඩ රෝග වලදී මෙම ප්‍රතිශක්තීකරණ සෛල අපේ සිරුරේ සෛල වලට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගන්නවා. එම රෝග ඔටෝඉමියුන් රෝග (Autoimmune diseases) ලෙස නම කෙරෙනවා. මෙවැනි ඔටෝඉමියුන් රෝග සිය ගණනක් තිබෙනවා. මේ කාණ්ඩයේ අපට හොඳටම අහල පුරුදු ලෙඩේ තමා රුමටොයිඩ් ආතරයිටිස් (Rhematoid Arthritis) කියන්නේ.

කියෙව්වාට බොහොම ස්තුතියි! මීළඟ ලිපියෙන් හමුවෙමු!

ප.ලි. : සෛල හා එහි අනු උපාංග පිලිබඳ පැහැදිලි කර ගැනීමට අසිරිමත් මිනිස් සිරුර -1 : සෛල ලිපිය කියවන්න.

Posted in ප්‍රතිශක්තීකරණ පද්ධතිය, මිනිස් සිරුර | Tagged , , , , , , , , , , , , , | ප්‍රතිචාර 6

අසිරිමත් මිනිස් සිරුර – 5 : ලේ රතු පාට ඇයි?

අද ලියන ලිපිය පටන් ගත්තේ ප්‍රශ්නාර්ථයක් ඇතුව. මේ ඊලඟට කතාකරන මාතෘකාව වෙන රුධිර පටකයට පූර්විකාවක් විදිහට. ඔයාල හැමෝම දැන ගන්න කැමති ඇති ලේ රතු පාට ඇයි කියල. ඒකට හේතුව තමා ලේ වල ඇති සෛල වලින් එකක් වන රතු රුධිරාණු වල තියෙන හිමොග්ලොබින් (Hemoglobin) කියන අණුව. මේක හැදිලා තියෙන්නේ ගෝලාකාර ප්‍රෝටීන අණු හතරක් මැද්දට හීම් නම් අණු හතරක් එකතු වෙලා. පහත රූපෙන් පෙන්නන්නේ ඒකෙ ව්‍යුහය.

ඔය හීම් කාණ්ඩ වල වැදගත්කම තමා ශරීරයේ තියෙන සෛල වලට අවශ්‍ය ඔක්සිජන් පෙනහළු වල සිට අනෙකුත් පටක වලට අරන් යන එක. ඉතින් මේ හිමොග්ලොබින් අණුව ඔක්සිජන් එක්ක එකතු උනාම රතු පාට හින්ද තමා ලේත් රතු පාටට පෙනෙන්නේ.  සාමාන්‍යයෙන් අපේ ලේ වල ලීටරයට ග්රෑම් 15ක් විතර හිමොග්ලොබින් තියෙනවා.

ලේ කොච්චර ප්‍රමාණයක් ඇඟේ තියෙනවද?

සාමාන්‍යය වැඩිහිටි මිනිසෙක්ගේ (බර කිලෝ 70ක් විතර වෙන) ඇඟේ ලේ ලීටර 5.6ක් විතර තියෙනවා. හොඳ සෞඛ්‍ය සම්පන්න කෙනෙක්ට හදිසි අනතුරකදී  මෙම ප්‍රමාණයෙන් සියයට හතළිහක් (ලීටර 2.25) විතර නැති වෙන එක දරා ගන්න පුළුවන්. ඇඟේ තියෙන ලේ ප්‍රමාණය ලීටර 5.6 ක් උනාට දවසට හදවත කොපමණ ලේ ප්‍රමාණයක් පොම්ප කරනවා ඇත්ද කියල හිතාගන්න පුළුවන්ද? හදවත ගැහෙන එක වාරයකට මිලිලීටර 70ක් විතර පොම්ප කරනවා. ඉතින් දවසකට සාමාන්‍යයෙන් හදවත ලීටර 7250ක් පමණ ලේ පොම්ප කරනවා. පුදුම හිතෙනවා නේද?

ලේ නැත්නම් රුධිරය හැදිලා තියෙන්නේ කොහොමද?

කලින් ලිපියේ කීවනේ රුධිරය කියන්නෙත් සම්බන්ධක පටක වර්ගයක් කියලා. ඉතින් අනිත් හැම එකක්ම වගේ රුධිරය හැදිලා තියෙන්නෙත් සෛල, තන්තු හා බහිස්සෛලීය මාධ්‍යය කියන කොටස් තුනෙන්. නමුත් මේ එකක්වත් අර කලින් සම්බන්ධක පටක වලට සමාන කමක් දක්වන්නේ නැහැ. ඒ හින්ද තමා මෙය විශේෂ සම්බන්ධක පටකයක් වෙන්නේ.

රුධිරයේ අඩංගු ද්‍රව්‍ය ප්‍රතිශත විදිහට ගත්තොත් සියයට 40ක් විතර සෛල ද සියයට 60ක් විතර රුධිර ප්ලාස්මය ද වෙනවා. රුධිරයේ  බහිස්සෛලීය මාධ්‍යය වෙන්නේ රුධිර ප්ලාස්මයයි. ඒක හැදෙන්නේ සියයට 90 ක් පමණ ජලයෙන්. ඉතිරිය ග්ලුකෝස්, විවිධ ප්‍රෝටීන, මේද අණු, හෝමෝන  වැනි කාබනික අණු හා ඛනිජ ලවණ වලින් සම්පුර්ණ වෙනවා. දැන් බලමු ලේ වල තියෙන සෛල වර්ග මොනවාද කියලා.

රතු රුධිරාණු

රතු රුධිරාණු (Red Blood Cells) : රුධිරයේ වැඩියෙන්ම තියෙන සෛල වර්ගය තමා රතු රුධිරාණු කියන්නේ. මයික්‍රෝලීටරයකට සෛල 500000ක්  (500000/μl) පමණ තියෙනවා. රතු රුධිරාණු සිරුරේ අනිත් සෛල වලට වඩා වෙනස්. එයට හේතුව එහි න්‍යෂ්ටියක් හෝ මයිටකොන්ඩ්රියා නොමැති වීමයි. මේ සෛල වල ප්ලාස්මය හිමොග්ලොබින් වලින් පිරිලා පවතිනවා. රතු රුධිරානුවක හැඩය ද්විඅවතල (Biconcave) හැඩයක් ඔය රූපෙන් පෙන්නනවා වගේ. මේ විශේෂ හැඩයේ වටිනාකම තමා රතු රුධිරාණු කේශ නාලිකා (Capillaries) වැනි ඉතා කුඩා තැන් වලින් ගමන් කරන විට පුපුරන්නේ නැතුව යාමට පලුවන් වීම. මේවා නිපදවන්නේ ඇටමිදුළු තුලයි. ඇටමිදුළු වලින් රුධිරයට නිදහස් උනාට පස්සේ රතු රුධිරාණුවක් දවස් 120 ක් පමණ ජීවත් වෙනවා. රතු රුධිරාණු වල ප්‍රධාන කාර්යය තමා ශරීරයේ අනිත් සෛල වලට අවශ්‍ය ඔක්සිජන් පෙනහළු වල සිට ඒ සෛල වෙතට ප්‍රවාහනය කිරීම. මම කලින් සඳහන් කරපු හිමොග්ලොබින් වල උපකාරයෙන් තමා මී කාර්යය ඉටු කරන්නේ. තවද ශරීරයේ අනිත් සෛල වලින් නිපදවන කාබන් ඩයොක්සයිඩ් පෙනහළු වෙත ප්‍රවාහනය කරන්නත් රතු රුධිරාණු දායක වෙනවා. ලේ වල තියෙන රතු රුධිරාණු ප්‍රමාණය ගොඩක් අඩු උනාම ඒ ලෙඩේට  “රක්තහීනතාවය” (Anemia) කියලා කියනවා. ඒ වගේම රතු රුධිරාණු සාමාන්‍යය ප්‍රමාණයට වඩා වැඩි වෙන ඒකත් ලෙඩක්. ඒක “පොලිසයිතීමියා” (Polycythemia) කියලා හඳුන්වන තත්වයක්.

එහෙනම් අදට ඇති! මතු සම්බන්ධයි…………..

Posted in මිනිස් සිරුර | Tagged , , , , , , | ප්‍රතිචාර 11