අසිරිමත් මිනිස් සිරුර – 3 : සම්බන්ධක පටකය

දොස්තර මාමාට වැඩ කටයුතු ගොඩක් තිබ්බ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා. බ්ලොග් එක ලියන බාසාවේ පොඩි වෙනසකුත් කරන්න හිතුවා. මොකද කලින් ලියපු විදිහ කියවන අයට එච්චර රුචියක් ඇති කරන්නේ නැහැ කියල හිතුනු නිසා. ඔන්න එහෙනම් වැඩ පටන් ගත්තා.

මේ ලිපියත් කලින් ලියපු ලිපි හා සම්බන්ධයි. කලින් ලිපිය නතර කලේ අපිච්ඡද පටක වලින් නේ. මේ ලිපියෙන් අපි මිනිස් සිරුරේ තියෙන තව පටක වර්ගයක් වෙන සම්බන්ධක පටක වර්ගය ගැන කියවමු.

සම්බන්ධක පටක (Connective Tissue)

මේ පටක වර්ගයේ නමින්ම ඒකෙ ප්‍රධාන රාජකාරිය මොකක්ද කියල හිතාගන්න පුළුවන් නේ? මේක තමා අපේ ශරීරේ තියෙන හැම කොටසක්ම එකිනෙකට යා කරන්නේ. ඒ වගේම ශරිරයේ තියෙන අනිත් පටක හා සෛල වලට පිහිටන්න සැකිල්ලක් විදිහටත් මේක ක්‍රියා කරනවා. සම්බන්ධක පටක වර්ග ගොඩක් තිබ්බත්, ඒවා හැම එකකටම පොදු ලක්ෂණ කිපයක් තියෙනවා. ඒ තමා..

සම්බන්ධක පටක වලට පොදු ව්‍යුහය

1. සෛල (Cells) :
සම්බන්ධක පටකයක විවිධ වර්ගයේ සෛල ගණනාවක් තියෙන්න පුළුවන්. මේ සෛල තමා සම්බන්ධක පටකයක පෙනුම හා කරන කාර්යය තීරණය කරන්නෙත්, නඩත්තු කරන්නේත්. උදාහරණ විදිහට තන්තු සෛල (fibroblasts), මේද සෛල(adipose cells), විවිධ සුදු රුධිරාණු සෛල වර්ගත් (macrophages, mast cells, neutrophils, etc) පෙන්නන්න පුළුවන්.

2. තන්තු (Fibers):
සම්බන්ධක පටකයක ඇදෙනසුලු බව හා එහි ශක්තියත් තීරණය කරනෙනේ ඒකෙ තියෙන තන්තු වර්ග වලින්. කොලැජන් (Collagen) හා ඉලාස්ටින් (Elastin) කියන ප්‍රෝටීන් වර්ග දෙකෙන් හැදිච්ච තන්තු දෙවර්ගයක් තියෙනවා. මේ ප්‍රෝටීන හදන්නේ අර කලින් කියපු තන්තු සෛල (fibroblasts) කියන සෛල වර්ගෙන්. කොලැජන් තන්තු මිටි වගේ එකතු වෙලා ඒක තියෙන පටකයට ශක්තිය ලබා දෙනවා. ඉලාස්ටින් තන්තු ගහක අතු වගේ බෙදිලා බෙදිලා දැලක් වගෙ තියෙන්නේ. ඉලාස්ටින් තන්තු නමේ හැටියටම ඉලාස්ටික් වගේ ඇදෙනවා. ඒක හින්දා පටකයට ඇදෙනසුලු බවක් ලැබෙනවා. සයිඩ් එකේ තියෙන රූපෙ  බැලුවහම තවත් හොඳින් තේරේවි.

3. බහිස්සෛලීය මාධ්‍යය (Extra Cellular Matrix):
කලින් කියපු සෛල වර්ග හා තන්තු ගිලිලා ඉන්න අවකාශය තමා බහිස්සෛලීය මාධ්‍යය කියන්නේ. මේක ජෙලි එකක් වගේ තමා. හැදිලා තියෙන්නේ වතුර හා එක එක කාබෝහයිඩ්‍රේට (proteoglygans, hyaluronic acid, etc), ප්‍රෝටීන (laminin, fibronectin, etc) හා ඛනිජ ලවණ (calcium, phosphate, etc) වලින්. මේ ජෙලි එකක් වගේ තියෙන මාධ්‍යය ඒකෙ ගිලිලා ඉන්න සෛල හා තන්තු වලට ඉන්න අවකාශයක් සපයනවා වගේම, ඒවගේ පැවැත්මට උවමනා පෝෂ්‍ය ද්‍රව්‍යත් ලබා දීමට උදව් වෙනවා.

ඉතින් මේ කියපු ලක්ෂණ හැම එකක්ම තියෙන පටක වර්ග වලට නියම සම්බන්ධක (Proper Connective Tissue) පටක කියනවා. නියම සම්බන්ධක පටක තව විවිධ උප වර්ග වලට බදිලා තියෙනවා ඒවායේ තියෙන තන්තු වර්ගය හා ප්‍රමාණය අනුව. මම ඒ වර්ග ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

ක්ෂේත්‍රක පටකය

ක්ෂේත්‍රක පටකය (Areolar Tissue) :

සම්බන්ධක පටක වලට අදාල මුලික සැලැස්ම හොඳින්ම පෙන්වන පටකය තමා මේ. කොලැජන් හා ඉලාස්ටින් තන්තු සම ප්‍රමාණයෙන් වගේ තියෙන, ඉහත කියපු සෛල වර්ගත් හැම එකක්ම තියෙන පටකයක් මේක. අපේ ඇඟේ මස්පිඩු වටේට, ස්නායු වටේට හා වෙනත් අවයව ගණනාවක් ඇතුලේ මේ පටකය පිහිටලා තියෙනවා. කරන වැඩේ තමා ආවරණයක් සපයන එක, පෝෂ්‍ය ද්‍රව්‍ය හුවමාරුවට උදව වෙන එක, සැකිල්ලක් සපයන එක වගේ දේවල්.

වම් පැත්තෙන් තියෙන්නේ අන්වීක්ෂේකින් බලපුවහම පෙන හැටි. A – අකුරින් පේන්නේ තන්තු සෛල, B – අකුරින් පේන්නේ කොලැජන් තන්තු මිටි, C – අකුරින් පේන්නේ ඉලාස්ටින් තන්තු.

සුදු තන්තු පටකය

සුදු තන්තු පටකය (Dense connective tissue) :

කොලැජන් තන්තු මිටි ඉතා තදින් ඇහිරිලා තියෙන ඇහින් බලපුවාම සුදු පාටට පෙනෙන පටකයක්. මේ පටකය ඉතා ශක්තිමත්, පොඩ්ඩක් ඇදෙන්නත් පුළුවන්. මාංශ පේශි ඇටකටු වලට සම්බන්ධ කරන ඛණ්ඩරා (Tendons) හා ඇටකටු එකිනෙකට සම්බන්ධ කරන බන්ධනී (Ligaments) මීට හොඳම උදාහරණයයි. කුකුල් මස් කපන අය දැකල ඇති කුකුල් කකුල් වල මස් කටුවට හාවෙන්න කලින් සුදු පාට වයර් කෑල්ලක් වගේ කෑල්ලක් තියෙනවා. ඒවා තමා ඛණ්ඩරා කියන්නේ.

වම් පැත්තෙන් තියෙන්නේ අන්වීක්ෂේකින් බලපුවහම පෙන හැටි. A – අකුරින් පේන්නේ තන්තු සෛල, B – අකුරින් පේන්නේ කොලැජන් තන්තු මිටි. පේනවනේ කලින් රූපෙත් එක්ක බලපුවාම කොච්චර එක ලඟින් තන්තු මිටි ඇහිරිලා තියෙනවද කියලා?

කහ තන්තු පටකය

කහ තන්තු පටකය (Dense connective tissue) :

ඉලාස්ටින් තන්තු වැඩියෙන තියෙන ඉලාස්ටික් වගේ ඇදෙන පටකයක් මේක. එක හින්දා අපේ ඇඟේ ඇදෙන්න උවමනා තැන වැල මේ පටකය පිහිටලා තියෙනවා. මේවා ඇදෙනවා වගේම නැවත කලින් තිබුන තත්වෙටම පත්වෙන්නත් සමත්. ස්වරාලය, ධමනි බිත්ති, ශ්වාස නාල පද්ධතිය තුල මේ පටකය තියෙනවා. ඔය උදාහරණ හැම එකක්ම නිතර ඇදීමට ලක්වෙන තැන්.

පින්තුරේ තියෙන්නේ අන්වීක්ෂේකින් බලපුවහම පෙන හැටි. A – අකුරින් පේන්නේ ඉලාස්ටින් තන්තු,

මූලික සැලැස්මෙන් වෙනස්, ඒ වගේම විශේෂ කාර්යයන් කරන ඒවා විශේෂ සම්බන්ධක පටක (Special Connective Tissue) විදිහට හඳුන්වනවා. මේ වර්ග මම ඉස්සරහට ලියන ලිපි වලින් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඒවායේ ලිස්ට් එකක් විතරක් ලියන්නම්.

1. කාටිලේජ (Cartilage tissue)
2. අස්ථි (Bone Tissue)
3. රුධිරය (Blood)
4. මේද පටක (Adipose Tissue)
5. ඇටමිදුළු (Bone Marrow Tissue)

 

එහෙනම් කියෙව්වට ස්තුතියි! මේ ලිපි තව වැඩි දියුණු කරන්න උපදෙස් තියනවනම් මට කියන්න.

 

Advertisements
This entry was posted in මිනිස් සිරුර and tagged , , , , , . Bookmark the permalink.

2 Responses to අසිරිමත් මිනිස් සිරුර – 3 : සම්බන්ධක පටකය

  1. Chami පවසයි:

    බොහොම හොදයි.
    එත් මට හිතෙන විදිහට සෛල වගේ සාමාන්‍ය අපිට තේරුම් ගන්න අමාරු, එතරම් රසවත් නැති ඒවාට වඩා; හර්දය වස්තුව, පෙනහල්ල වගේ දේවල් ගැන ඉස්සරලම ලිව්වොත් මොකද දොස්තර මාමේ,

    අනික රුප සටහන් නම් කරන එකත් සිංහල + ඉංග්‍රීසි උනොත් තවත් මාරු.

    • ප්‍රතිචාරයට බොහොම ස්තුතියි! මම ඔයා කියන කාරණය ගැන හිතුවා. ඉස්සරහට ඒවගේ ලිපි තමා ලියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් පෙනහළු, හදවත වගේ සිතාර කරද්දිත් මේ මුලික පටක ගැන එහෙම ලියන්න වෙනවා. ඉතින් මට හිතෙන්නේ මුලික දේවල් ගැන හැඳින්වීමක් දන ලියල, ඊට පස්සේ අර රසවත් මාතෘකා වලට යන්නම් කියල. මම රූප සටහන් සිංහලෙන් නම් කරන්න පුළුවන් තරම් උත්සාහ ගන්නම්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )