අසිරිමත් මිනිස් සිරුර – 5 : ලේ රතු පාට ඇයි?

අද ලියන ලිපිය පටන් ගත්තේ ප්‍රශ්නාර්ථයක් ඇතුව. මේ ඊලඟට කතාකරන මාතෘකාව වෙන රුධිර පටකයට පූර්විකාවක් විදිහට. ඔයාල හැමෝම දැන ගන්න කැමති ඇති ලේ රතු පාට ඇයි කියල. ඒකට හේතුව තමා ලේ වල ඇති සෛල වලින් එකක් වන රතු රුධිරාණු වල තියෙන හිමොග්ලොබින් (Hemoglobin) කියන අණුව. මේක හැදිලා තියෙන්නේ ගෝලාකාර ප්‍රෝටීන අණු හතරක් මැද්දට හීම් නම් අණු හතරක් එකතු වෙලා. පහත රූපෙන් පෙන්නන්නේ ඒකෙ ව්‍යුහය.

ඔය හීම් කාණ්ඩ වල වැදගත්කම තමා ශරීරයේ තියෙන සෛල වලට අවශ්‍ය ඔක්සිජන් පෙනහළු වල සිට අනෙකුත් පටක වලට අරන් යන එක. ඉතින් මේ හිමොග්ලොබින් අණුව ඔක්සිජන් එක්ක එකතු උනාම රතු පාට හින්ද තමා ලේත් රතු පාටට පෙනෙන්නේ.  සාමාන්‍යයෙන් අපේ ලේ වල ලීටරයට ග්රෑම් 15ක් විතර හිමොග්ලොබින් තියෙනවා.

ලේ කොච්චර ප්‍රමාණයක් ඇඟේ තියෙනවද?

සාමාන්‍යය වැඩිහිටි මිනිසෙක්ගේ (බර කිලෝ 70ක් විතර වෙන) ඇඟේ ලේ ලීටර 5.6ක් විතර තියෙනවා. හොඳ සෞඛ්‍ය සම්පන්න කෙනෙක්ට හදිසි අනතුරකදී  මෙම ප්‍රමාණයෙන් සියයට හතළිහක් (ලීටර 2.25) විතර නැති වෙන එක දරා ගන්න පුළුවන්. ඇඟේ තියෙන ලේ ප්‍රමාණය ලීටර 5.6 ක් උනාට දවසට හදවත කොපමණ ලේ ප්‍රමාණයක් පොම්ප කරනවා ඇත්ද කියල හිතාගන්න පුළුවන්ද? හදවත ගැහෙන එක වාරයකට මිලිලීටර 70ක් විතර පොම්ප කරනවා. ඉතින් දවසකට සාමාන්‍යයෙන් හදවත ලීටර 7250ක් පමණ ලේ පොම්ප කරනවා. පුදුම හිතෙනවා නේද?

ලේ නැත්නම් රුධිරය හැදිලා තියෙන්නේ කොහොමද?

කලින් ලිපියේ කීවනේ රුධිරය කියන්නෙත් සම්බන්ධක පටක වර්ගයක් කියලා. ඉතින් අනිත් හැම එකක්ම වගේ රුධිරය හැදිලා තියෙන්නෙත් සෛල, තන්තු හා බහිස්සෛලීය මාධ්‍යය කියන කොටස් තුනෙන්. නමුත් මේ එකක්වත් අර කලින් සම්බන්ධක පටක වලට සමාන කමක් දක්වන්නේ නැහැ. ඒ හින්ද තමා මෙය විශේෂ සම්බන්ධක පටකයක් වෙන්නේ.

රුධිරයේ අඩංගු ද්‍රව්‍ය ප්‍රතිශත විදිහට ගත්තොත් සියයට 40ක් විතර සෛල ද සියයට 60ක් විතර රුධිර ප්ලාස්මය ද වෙනවා. රුධිරයේ  බහිස්සෛලීය මාධ්‍යය වෙන්නේ රුධිර ප්ලාස්මයයි. ඒක හැදෙන්නේ සියයට 90 ක් පමණ ජලයෙන්. ඉතිරිය ග්ලුකෝස්, විවිධ ප්‍රෝටීන, මේද අණු, හෝමෝන  වැනි කාබනික අණු හා ඛනිජ ලවණ වලින් සම්පුර්ණ වෙනවා. දැන් බලමු ලේ වල තියෙන සෛල වර්ග මොනවාද කියලා.

රතු රුධිරාණු

රතු රුධිරාණු (Red Blood Cells) : රුධිරයේ වැඩියෙන්ම තියෙන සෛල වර්ගය තමා රතු රුධිරාණු කියන්නේ. මයික්‍රෝලීටරයකට සෛල 500000ක්  (500000/μl) පමණ තියෙනවා. රතු රුධිරාණු සිරුරේ අනිත් සෛල වලට වඩා වෙනස්. එයට හේතුව එහි න්‍යෂ්ටියක් හෝ මයිටකොන්ඩ්රියා නොමැති වීමයි. මේ සෛල වල ප්ලාස්මය හිමොග්ලොබින් වලින් පිරිලා පවතිනවා. රතු රුධිරානුවක හැඩය ද්විඅවතල (Biconcave) හැඩයක් ඔය රූපෙන් පෙන්නනවා වගේ. මේ විශේෂ හැඩයේ වටිනාකම තමා රතු රුධිරාණු කේශ නාලිකා (Capillaries) වැනි ඉතා කුඩා තැන් වලින් ගමන් කරන විට පුපුරන්නේ නැතුව යාමට පලුවන් වීම. මේවා නිපදවන්නේ ඇටමිදුළු තුලයි. ඇටමිදුළු වලින් රුධිරයට නිදහස් උනාට පස්සේ රතු රුධිරාණුවක් දවස් 120 ක් පමණ ජීවත් වෙනවා. රතු රුධිරාණු වල ප්‍රධාන කාර්යය තමා ශරීරයේ අනිත් සෛල වලට අවශ්‍ය ඔක්සිජන් පෙනහළු වල සිට ඒ සෛල වෙතට ප්‍රවාහනය කිරීම. මම කලින් සඳහන් කරපු හිමොග්ලොබින් වල උපකාරයෙන් තමා මී කාර්යය ඉටු කරන්නේ. තවද ශරීරයේ අනිත් සෛල වලින් නිපදවන කාබන් ඩයොක්සයිඩ් පෙනහළු වෙත ප්‍රවාහනය කරන්නත් රතු රුධිරාණු දායක වෙනවා. ලේ වල තියෙන රතු රුධිරාණු ප්‍රමාණය ගොඩක් අඩු උනාම ඒ ලෙඩේට  “රක්තහීනතාවය” (Anemia) කියලා කියනවා. ඒ වගේම රතු රුධිරාණු සාමාන්‍යය ප්‍රමාණයට වඩා වැඩි වෙන ඒකත් ලෙඩක්. ඒක “පොලිසයිතීමියා” (Polycythemia) කියලා හඳුන්වන තත්වයක්.

එහෙනම් අදට ඇති! මතු සම්බන්ධයි…………..

Advertisements
This entry was posted in මිනිස් සිරුර and tagged , , , , , , . Bookmark the permalink.

11 Responses to අසිරිමත් මිනිස් සිරුර – 5 : ලේ රතු පාට ඇයි?

  1. wiaw පවසයි:

    බොහෝම ස්තුතියි… අනිත් සෛල ගැනත් කියවන්න එන්න ඕනෙ……….. ගිහින් එන්නම්.

  2. නවම් පවසයි:

    ඇල්කෙමියාගෙන් පාර අහගෙනයි ආවෙ මේ පැත්තෙ. සුභ දවසක් දොස්තර මාමේ.
    ගෙදර ගිහිල්ල කියන්න ඔන්නෙ බුක් මාක් කරගත්ත.

  3. ishara පවසයි:

    ඉතින් රතු රුධිරාණු සාමාන්‍යය ප්‍රමාණයට වඩා වැඩි වෙනවනම් ඒකෙන් ප්‍රශ්නයක් ඇති වෙනවද?මටනම් හිතෙන්නේ ඒක හොදයි කියලා

    • ඔව්! රතු රුධිරාණු ප්‍රමාණය ශරීර අවශ්‍යතාවයට වඩා හුඟක් වැඩි උනාම ඒ ලෙඩේ අපි “පොලිසයිතීමියා වේරා” (Polycythemia Vera) කියලා හඳුන්වනවා. ඒක වෙන්නේ ඇටමිදුළු මඟින් අනවශ්‍ය පරිදි රතු රුධිරාණු නිපදවීමට පටන් ගැනීම හින්දා. හුඟක් වෙලාවට මේ ඇටමිදුළු වල අධි ක්‍රියාකාරීත්වයට හේතුව හොයාගන්න බැහැ.

      ඔයාට හිතෙනවා ඇතිනේ ඉතින් රතු රුධිරාණු ගොඩක් තිබ්බම ඔක්සිජන් ගෙන යාමේ හැකියාව වැඩි වෙනවනේ, ඉතින් ඒක ලෙඩක් වෙන්නේ කොහොමද කියලා?

      අර පැණි උණු කරන්න කරන්න උකු වැඩි වෙලා හැඳි ගාන්න අමාරු වෙන්නේ, අන්න ඒ වගේ රුධිරයේ තියෙන සෛල සංඛ්‍යාව වැඩි වෙන කොට රුධිරයේ උකු ගතිය (ඝනත්වය/දුස්රාවීතාවය) වැඩි වෙලා රුධිර නාලිකා තුලින් ලේ ගමනාගමනය අපහසු වෙනවා. එතකොට ලේ කැටි ගැහෙන්න බලනවා. මේ ලේ කැටි හින්දා තමා ඇතිවෙන ප්‍රශ්න වැඩි හරියක් ඇති වෙන්නේ. උදාහරණ විදිහට ඇස් නොපෙනී යාම, අංශබාග තත්වයන් ඇතිවීම, ඔලුව කැක්කුම, කලන්තය, ප්ලීහාව විශාල වීම, හුස්ම ගැනීමේ අපහසුතා පෙන්නන්න පුළුවන්. හුඟක් කල් මේ ලෙඩේ තිබුනාම හදවතේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන්නත් පුළුවන්.

      දැනට මේ තත්වය නිට්ටාවට සුව කරන්න ක්‍රමයක් නැහැ. අර ලේ අඩු කට්ටියට ලේ දෙන එකේ අනිත් පැත්ත තමා මේකේ ප්‍රතිකාරය. මේ ලෙඩේ තියෙන කට්ටියගේ රුධිරය සාමාන්‍යය තත්වයට එනකල් සැරින් සැරේට ලේ ඉවත් කරන්න වෙනවා. ඒක මදි නම් පිළිකා වලට දෙන බේත් සමහරක් පාවිච්චි කරනවා ඇටමිදුළු අක්‍රිය කරන්න.

      බය වෙන්න එපා හැබැයි. මේ ලෙඩේ හුඟාක් කලාතුරකින් ඇතිවෙන එකක්!

  4. arunishapiro පවසයි:

    දොස්තර මාමා,

    hemolytic toxins ගැන පැහැදිලි කිරීමක් මෙතැනට ඇතුල් කළොත් වැදගත් වේවි. ඊයේ මගෙ සුදු අප්පුහාමිගෙ අත මකුළුවෙක් ද කොහෙද කාලා වටේට රතු පැල්ලමක් ආවම මට දොස්තර මාමාගෙ සටහන මතක් වුනා.

    ස්තූතියි.

    • සුදු අප්පුහාමිට මකුලුවගෙන් ලොකු කරදරයක් උනේ නැත්නම් මට සතුටුයි. මේ රටේ මකුළු විශේෂ කිහිපයක්‌ ඉන්නවා මිනිස්සුන්ට අනතුරු කරන. නමුත් මම හිතන්නේ ඔයා ඉන්න ප්‍රදේශයේ ඒ මකුළු විශේෂ නැහැ.

      බොහොම ස්තුතියි අරුණි අක්කගේ Hemolytic toxin අදහසට. මම ලියන්නම්.

  5. විමුක්ති රිචඩ් රත්නපාල පවසයි:

    මට රතු රුධිරාණු ගැන පින්තූරත් එක්ක වැඩි විස්තරයක් දෙන්ට පුළුවන්ද මාමේ!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )