රුධිර පරීක්ෂණ වාර්තාවක්‌ කියවන හැටි

ඔයාලා හැමෝම වගේ කවදා හරි රුධිර පරීක්ෂණයක් කරලා ඇති නේ? මේ පරීක්ෂණයෙන් පසු ලැබුණු වාර්තාව කියවා තිබෙනවාද? උදාහරණයක් ලෙස පහත දක්වා තිබෙන්නේ එවැනි වාර්තාවක්.

ඕනෑම රසායනාගාර වාර්ථාවක් ගත්තහම එහි පළමුව කර ඇති පරීක්ෂණයේ නම ද (Test), ඉන්පසු එම පරීක්ෂණයේ ප්‍රතිඵලයද (Result), එම ප්‍රතිඵලයට අදාළ ඒකකය (Units) හා එම රසායනාගාරයේ එම පරීක්ෂාව සඳහා දෙන සාමාන්‍ය අගයයන්ගේ පරාසය (Normal Range) සඳහන් කෙරෙනවා. මෙම සාමාන්‍යය අගයයන්ගේ පරාසය රටින් රටට වෙනස් වීමට පුළුවන. අපි දැන් රුධිර පරීක්ෂණ වාර්තාවක ඇති විවිධ කරුණු පිලිබඳ කතා කරමු.

Hb: රුධිරයේ ඇති හිමොග්ලොබින් (Hemoglobin) ප්‍රමාණය මෙයින් දැක්වේ. පිරිමි අය තුල සාමාන්‍යයෙන් ඉහල හිමොග්ලොබින් ප්‍රමාණයක් ඇති නිසා මෙය පුරුෂ හා ස්ත්‍රී යන අගයයන් දෙකකින් සඳහන් කරනු ලබයි. මෙහි අගය ඩෙසිලීටරයකට ඇති ග්රෑම් ප්‍රමාණය (g/dL) ලෙස ගණනය කෙරේ. සාමාන්‍ය වැඩිහිටි පුරුෂයකු සඳහා අගය 13 – 16  g/dL  වන අතර වැඩිහිටි ස්ත්‍රියක අගය 12 – 15 g/dL වේ. මෙම පරාසයට වඩා අඩු ප්‍රමාණයක් හිමොග්ලොබින් ඇත්නම් එය රක්තහීනතාවය (Anemia) නිසා වීමට පුළුවන.

WBC: ලේ වල ඇති මුළු සුදු රුධිරාණු ප්‍රමාණය (White Blood Count) මෙයින් දැක්වේ. මෙය මයික්‍රෝලීටරයට ඇති සෛල ප්‍රමාණය ලෙස දක්වනු ලබයි. සාමාන්‍යය අගයය 4000 – 11000 වේ. බොහොමයක් බැක්ටීරීය ආසාදන වලදී මෙය ඉහල අගයයක් ගනු ලබයි.

Platelets: ලේ වල මයික්‍රෝලීටරයට ඇති රුධිර පට්ටිකා අගයය මෙයින් දෙනු ලැබේ. එහි සාමාන්‍යය අගයය මයික්‍රෝලීටරයට 150000 – 450000 පමණඅ වේ. ඩෙංගු රෝගීන් ගේ රෝග තත්වය නිර්ණය කිරීම සඳහා නිතරම කරනු ලබන පරීක්ෂාව මෙයයි.

DLC: මෙයින් විශේෂක සුදු රුධිරාණු ප්‍රමාණය (Differential Leukocyte Count) යන්න අදහස් කෙරේ. කලින් ලිපියක සඳහන් කල විවිධ සුදු රුධිරානු වර්ග වල අගයයන් මෙයින් මනිණු ලබයි. එම අගයයන් ආශ්‍රයෙන් වෛද්‍යවරුන් හට ඇතිවී ඇති රෝග තත්වය පිලිබඳ අනුමානයන් කිරීමටත්, දැනට තීරණය කර ඇති රෝග විනිශ්චය තහවුරු කර ගැනීමටත් ඉඩ ලැබේ. උදාහරණයක් ලෙස බැක්ටීරීය ආසාදනයකදී සාමාන්‍යයෙන් නියුට්‍රොෆිල ප්‍රමාණය ඉහල යන අතර, වෛරස ආසාදනයකදී වසා සෛල ප්‍රමාණය ඉහල අගයයක් ගනී. මෙහි ප්‍රතිඵලය එම සෛල වර්ගය  මුළු සුදු රුධිරානු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස සඳහන් කෙරේ. පහත දැක්වෙන්නේ එහි සාමාන්‍යය අගයයන් වේ.

Neutrophils:  40 – 70%

Bands:  0 – 5%

Lymphocytes:  20 -50%

Monocytes:  4- 8%

Eosinophils:  0 – 6%

Basophils:  0 – 2%

කලින් ලිපි කියවූ අයට ප්‍රශ්නයක් වෙන්න ඇති මෙහි බෑන්ඩ්ස් (Bands/Band cells) ලෙස හැඳින්වෙනුයේ මොනාද කියලා, මොකද එහෙම වර්ගයක් ගැන අප කතා නොකළ නිසා. බෑන්ඩ්ස් ලෙස හැඳින්වෙනුයේ නොමේරු සුදු රුධිරානුය. යම් මූලික ආසාදන (Acute Infection) අවස්ථා වලදී මෙය ඉහල අගයයක් ගනී. මන්ද යත් ආසාදනයක් ගැන දැනගත් විට ඇටමිදුළු සුදු රුධිරානු වැඩියෙන් නිෂ්පාදනය කිරීමත්, ඉක්මනින් ඇටමිදුළු තුලින් නිකුත් කිරීමත් කරන බැවිනි.

RBC Indices: රතු රුධිරාණු වල විවිධ ගුණාංග පිළිබඳ මෙහිදී අධ්‍යයනය කරනු ලබයි. මේ කරුණු රක්තහීනතා තත්ව වලදී, එම තත්වයට හේතුව සොයා ගැනීම සඳහා උපකාරී වේ.

RBC: රතු රුධිරාණු ප්‍රමාණය (Red Blood Count) මෙමගින් දැක්වේ. පුරුෂයින්ගේ මෙය මයික්රෝලීටරයට සෛල මිලියන 4.5 – 6.5 ත් අතර වන අතර ස්ත්‍රීන්ගේ මයික්රෝලීටරයට සෛල මිලියන 4.0 – 5.5 ත් අතර ප්‍රමාණයක් වේ.

Hct: රුධිරයේ සෛල ප්‍රතිශතය මෙමගින් මනිනු ලැබේ. සාමාන්‍යයෙන් පුරුෂයින්ගේ මෙය 39% – 47% ත් අතර වන අතර ස්ත්‍රීන්ගේ 35% – 45% ත් අතර ප්‍රමාණයක් වේ.

MCV: මෙමගින් රතු රුධිරාණුවක සාමාන්‍යය පරිමාව (Mean Corpuscular Volume) මනිනු ලැබේ. එහි අගයය ෆෙම්ටෝලීටර (fL) වලින් මනින අතර සාමාන්‍යය පරාසය 79 – 93 fL වේ. යකඩ අඩුවීම නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වන අතර, විටමින් බී හා ෆොලේට් වැනි විටමින් ඌනතා වලදී මෙය ඉහල අගයයක් ගනී.

MCH: එක රතු රුධිරානුවක ඇති හෙමොග්ලොබින් ප්‍රමාණයේ සාමාන්‍යය (Mean Corpuscular Hemoglobin) මෙමගින් මනිනු ලබයි. සෛලයකට පිකෝග්රෑම් (pg/cell) ලෙස මෙය පනිනු ලබන අතර සාමාන්‍ය පරාසය 27 – 32 pg/cell වේ. යකඩ ඌනතාවය නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වේ.

MCHC: එක රතු රුධිරානුවක් සඳහා හෙමොග්ලොබින් සාන්ද්‍රණය (Mean Corpuscular Hemoglobin Concentration) මෙම දර්ශකයෙන් දෙනු ලැබේ. එහි සාමාන්‍ය අගය ඩෙසිලීටරයකට ග්රෑම් 32 – 36 අතර වේ.

Reticulocyte count : රුධිරයේ ඇති නොමේරූ රතු රුධිරාණු (Reticulocytes) ප්‍රමාණය මුළු රතු රුධිරාණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කර මෙම අගය ලබා ගනී. සාමාන්‍යයෙන් මෙය 0.8% – 2.5% ත් අතර ප්‍රමාණයක් ගන්නා අතර රතු රුධිරාණු යම ආකාරයකින් විනාශ වූ විටක හා රුධිර වාහනයක් ඇතිවූ විටෙක ඇටමිදුළු වලින්නොමේරූ රතු රුධිරාණු වැඩි වැඩියෙන නිකුත් කිරීම නිසා මෙහි අගය ඉහල යා හැකිය.

ඉස්සර නම් මෙම පරීක්ෂණ හැම එකක්ම වගේ අන්වීක්ෂ, කේන්ද්‍රාපසාරක (Centrifuges) වැනි මෙවලම් යොදාගෙන රසායනාගාර සේවකයන් විසින් විශාල කාලයක් මිඩංගු කර ගණනය කලද අද කාලයේ මේ සඳහා ස්වයංක්‍රීය සෛල ගණක (Automated Cell Counter) යන්ත්‍ර යොදා ගෙන මිනිත්තු ගණනාවක් ඇතුලත ගණනය කරනු ලබයි. පහත දක්වා ඇත්තේ මෙවන් ස්වයංක්‍රීය සෛල ගණක (Automated Cell Counter) යන්ත්‍රයක් භාවිතා කරන රූපයකි.

සැලකිය යුතුයි! : රුධිර වාර්තාවක් කියවා තේරුම් ගැනීම ඉතා හොඳ කරුණක් වන අතර එමගින් තම රෝගී තත්වය පිළිබඳ වැටහීම වැඩි කර ගැනීමට ඔබට හැකි වේ. නමුත් රෝග විනිශ්චය (Diagnosis) තනිකරම පරීක්ෂණ වාර්තා මත රඳා පවතින්නක් නොවන බව ඔබ දැන ගත යුතුය. රෝග විනිශ්චය කිරීම සඳහා රෝගියාගේ රෝග ලක්ෂණ (History), වෛද්‍ය පරීක්ෂාව (Physical Examination) හා වෙනත් රෝගයට අදාළ කරුණු සියල්ල සලකා බැලිය යුතුය. එනිසා මම රසායනාගාර වාර්තා මත පදනම් කරගෙන තනිව බෙහෙත් ගැනීමෙන් වලකින ලෙසද ඕනෑම රෝගී තත්වයකදී රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකු හමුවී බෙහෙත් ලබා ගන්නා ලෙසද ඔබගෙන් ඉල්ලා සිටිමි.

මෙහි සඳහන් විවිධ සෛල වර්ග පිලිබඳ වැඩිදුර කියවීමට පහත යොමු බලන්න:

අසිරිමත් මිනිස් සිරුර – 5 : ලේ රතු පාට ඇයි?

අසිරිමත් මිනිස් සිරුර – 6 : සතුරු උවදුරු වලින් අප බේරාගන්නා සිරුරේ හමුදාව

අසිරිමත් මිනිස් සිරුර – 7 : ලේ ගැලීම වලක්වන රුධිර පට්ටිකා

නැවත හමුවමු!

Advertisements
This entry was posted in රසායනාගාර පරීක්ෂණ, රෝග and tagged . Bookmark the permalink.

15 Responses to රුධිර පරීක්ෂණ වාර්තාවක්‌ කියවන හැටි

  1. කඩුල්ල පවසයි:

    කඩුල්ල ඔබේ වියමන් කියවන්න පටන් ගත්තා. අනම් මනම් වලට වඩා අප දැනුවත් කරන්න මේ ලිපි වැදගත්.

  2. නදී... පවසයි:

    මේ ලිපිය ගොඩක් වැදගත්.බොහොම ස්තූතියි දොස්තර මාමට.පුලුවන්නම් වකුගඩු රෝග,හර්ද රෝග,මානසික රෝග වගේ රෝග ගැනත් විස්තර ලියන්න.

    මට ප්‍රශ්නය කීපයක් තියනව:
    අවුරුදු 60 ඉක්මවු සාමානය්‍ය නිරෝගී කෙනෙක් කොච්චර කාලෙකින් ද ලේ,මූත්‍රා,කොලෙස‍්ටෙරොල්,ප්‍රෙශර් එහෙම බලාගන්න ඕනෙ.?
    අනික ළමයි වගේ වැඩිහිටි අයත් මාස 6න් 6ට පනු බෙහෙත් ගන්නම ඕනෙද?

    • මම වෙනත් රෝද පිලිබඳ ඉදිරියට ලෙවීමට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි අදහසට!

      ඔයාගේ ප්‍රශ්න වලට උත්තර නම්:

      1. නිරෝගී වැඩිහිටියකුට මේ පරීක්ෂා සාමාන්‍යයෙන් වසරකට සැරයක් කර ගැනීම සෑහෙනවා. (මේ සඳහා විවිධ අනුමත රෙජීම රාශියක් තිබුනත්, මගේ වැටහීම හැටියට වයස 60ට වැඩි අයෙක් වසරකට සැරයක්වත් තමන්ගේ සෞඛ්‍යය තත්වය පරීක්ෂා කර ගැනීම වැදගත්.)

      2. මාස හයෙන් හයට පණු බෙහෙත් බොන එක කාටවත් අනිවාර්ය දෙයක් නොවෙයි. මෙය තමුන් ජීවත් වන පරිසරය හා පණු රෝග බෝවීමට බලපාන මුලාශ්‍ර වලට තමුන් ලක් වීමට ඇති ප්‍රවනතාවය මත තීරණය වන්නක්. උදාහරණයක් විදිහට තමා ජීවත් වන පරිසරයේ පිරිසිදු කම අඩු නම්, තමාට කෑමට ලැබෙන ආහාරවල පණු බිත්තර තිබීමට හැකි අපිරිසිදු තත්වයේ විය හැකි නම්, තමා ජීවත් වන පරිසරයේ මිනිස් මළ ද්‍රව්‍ය තිබී නම්, පාවහන් රහිතව එලි මහනේ ගමන් කිරීමට සිදු වෙනවානම්, අපිට කියන්න පුළුවන් පණු රෝග වැළදීමට ඇති සම්භාවිතාවය ඉහලයි කියලා. මේ වගේ තත්ත්ව තිබේ නම් පණු බෙහෙත් ලබා ගැනීමේ වරදක් නැහැ. නමුත් ඉතා පිරිසිදු තත්ත්ව යට‍තේ ජීවත් වන අයට පණු රෝග වැළඳීමේ හැකියාව අඩු නිසා. නමුත් අපේ රට වැනි දියුණු වෙමින් පවතින රටක ළමුන්ට පණු බෙහෙත් දෙන එක මාස හයෙන් හයට සාමාන්‍යයෙන් සිදු කරනවා. මොකද පණු අසාධන ඇති විට ළමුන්ගේ වර්ධනය බාල වන නිසා. වැඩිහිටියන්ට නම් යම රෝග ලක්ෂණයක් මතුවන තෙක් මෙහි අවශ්‍යතාවයක් ඇත්තටම නැහැ. අනිත් කියන්න ඕන කරුණ තමා වයස අවුරුද්දකට වඩා අඩු ළමුන්ට පණු බෙහෙත් දීමට අවශ්‍යතාවයක් නැහැ. (මේ කරුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ඇසුරිණි)

  3. නවම් පවසයි:

    ස්තූතියි දොස්තර මාමේ.

    මට මතකයි මේ මෑතක අසනීපෙකට සම්පූර්ණ රුධිර වාර්ථාවක් අරගෙන දොස්තර ලඟට යනකන් මෙලෝ තේරුමක් නැතුව කොලේ දිහා බලාගෙන උන්න. ඊලඟ පාර එහෙම උනොත් යම් අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙයි දැන් නම්.

  4. Thilak Kodikara පවසයි:

    Very good lessons, We are organizing Blood Donation Programe annually and prepared a booklet about blood as a present for doners, can I get this lesson for that

  5. sumudu පවසයි:

    වැඞකට ඇති යමක්, සාමාන්ය අයට නොලැබෙන දැනුම්ක් බෙදන මේ සත් කාර්යට මාගේ ආචාරය ….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )