ඔබේ හදවත හඳුනාගන්න – 1

දීර්ඝ නිහැඬියාවකට පස්සේ ඔන්න මම නැවතත් ලියන්න පටන් ගත්තා. පහුගිය කාලය තුල ලියන්න විරාමයක් ලැබුනේ නැහැ. පාඨකයන් බොහොමයකගේ ඉල්ලීම මතයි මං මේ මාතෘකාව තෝරා ගත්තේ.

පිළිසිඳගැන්මෙන් සති තුනක පමණ සිට අප මියෙන තුරාවට අපව ජීවත් කරන හදවත ගැන ඔබ කොපමණ කරුණු ප්‍රමාණයක් දන්නවාද? අප එදිනෙදා ජීවිතයේදී, විශේෂයෙන්ම ලේඛකයන් නිතරම අපගේ හැඟීම් හා සම්බන්ධ කරගෙන “හදවත” කියන වචනය යොදා ගන්නවා නේද? ඉතින් මේ හදවත පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක කරුණු ටිකක් අපි දැන් කතා කරමු.

පිහිටීම

හදවතේ පිහිටීම

හදවතේ පිහිටීම

අපේ සිරුර පුරාවට රුධිරය පොම්ප කරන මේ පුංචි පොම්පය පිහිටලා තියෙන්නේ අපගේ උරස් කූඩුව (Rib Cage) මැද, ටිකක් විතර වම් පැත්තට බරව. වටේටම ඉලඇට (Ribs) වලින් ආවරණය වූ, ඉතා ආරක්‍ෂිත තැනක තමා මෙය පිහිටලා තියෙන්නේ. අපගේ පණ හදවත මගින් සපයනවානම් එය හොඳින් ආරක්ෂා වෙලා තියෙන්නේ ඕනනේ. ඔබගේ හදවත කොච්චර ලොකුද කියලා හිතලා තියෙනවා නම්, සාමාන්‍යයෙන් එය  මිට මොලවාගත් විට ඔබේ අතේ ප්‍රමාණයට ඉතා සමීපයි.

බාහිර පෙනුම

හදවතේ බාහිර පෙනුම

හදවතේ බාහිර පෙනුම

ඉදිරියේ සිට අපගේ හදවත බාහිරින් බලපුවහම මොටවූ අග්‍රයක් ඇති කේතුවක හැඩයක් ගන්නවා. එය මතුපිට හදවතට රුධිරය සපයන කිරීටක ධමනි හා ශිරා (Coronary Arteries and Veins) දැකිය හැකියි. ඒවගේම හදවතට ශරීරයේ සිට රුධිරය ගෙන එන මහා ශිරා ද (Superior Vena Cava and Inferior Vena Cava), පෙනහළු වලින් හදවතට රුධිරය ගෙන එන පුප්පුශීය ශිරාද (Right and Left Pulmonary Arteries) හදවතට පිටුපසින් පිහිටන අතර, හදවතේ ඉහල කොටසින් අපගේ සිරුර වෙත රුධිරය ගෙන යන මහා ධමනිය (Aorta) හා පෙනහළු වෙත රුධිරය ගෙන යන පුප්පුශීය ධමනිය (Pulmonary Artery) දැකගත හැකිය. ඉහත රූපයේ දැකිය නොහැකි වුවද අප හදවත වට  කරමින් තුනී පටල දෙකක් පිහිටනවා. එම පටල හෘදය පටලය/පෙරිකාර්ඩියම (pericardium) ලෙස හැඳින්වෙන අතර ඒවා අතර ඇති හිඩැස තරලයකින් (Pericardial fluid) පිරී තිබේ. මෙය හදවත ස්පන්දනය වීම පහසු කරන ලිහිසි ද්‍රව්‍යයක් (Lubricant) ලෙස ක්‍රියා කරන අතරම හදවතට ආරක්ෂාවද ලබා දේ. හෘද අග්‍රය

අභ්‍යන්තරය

හදවතේ අභ්‍යන්තර ව්‍යුහය

හදවතේ අභ්‍යන්තර ව්‍යුහය

බාහිරින් ඉතා සරල ස්වරූපයක් ගත්තද හදවත ඉතා සංකීර්ණ සැකැස්මක් ඇති ඉතා විශේෂිත අවයවයකි. අපගේ හදවත තුලින් හරස් කඩක ගෙන බැලුවහොත් එය කොටස්/කුටීර හතරකට බෙදී තිබෙනවා. ඒ වම් හා දකුණු කර්ණිකා (Left Atrium and Right Atrium) දෙකක් ලෙසට සහ වම් හා දකුණු කෝෂිකා (Left Ventricle and Right Ventricle) දෙකක් ලෙසටයි. හදවතේ දකුණු පස සිරුරේ ඇති ඔක්සිජන් අඩු රුධිරය ලබාගෙන එය ඔක්සිජන් ලබා ගැනීම සඳහා පෙනහළු වෙත පොම්ප කරන අතර වම් පස පෙනහළු වලින් ලැබෙන ඔක්සිජනීකෘත රුධිරය නැවත සිරුර පුරා පොම්ප කරනු ලබයි. මෙසේ කොටස් වලට බෙදීම මගින් හදවත තුල ඔක්සිජන් අඩු රුධිරය, ඔක්සිජන් වැඩි රුධිරය හා මිශ්‍ර වීම වැලක් වේ. හදවෙතේ සිදුරක් තිබෙනවා යැයි කියනුයේ මෙම කර්ණිකා අතර හෝ කෝෂිකා අතර අසාමාන්‍ය විවර වීමක් ඇතනම්ය.

දකුණු කර්ණිකාවට මුළු සිරුරේම සිට නැවත පැමිණෙන රුධිරය ලබා දෙන උත්තර හා අධර මහා ශිරා (Superior and Inferior Vena Cava) විවෘත වේ. වම් පස කර්ණිකාවට පෙනහළු වලින් නැවත පැමිණෙන රුධිරය ලබා දෙන පුප්පුශීය ශිරා (Pulmonary Veins) විවෘත වේ. දකුණු කෝෂිකාවේ සිට පෙනහළු වෙත දිවෙන පුප්පුශීය ධමනිය (Pulmonary Artery) ආරම්භ වන අතර වම් කෝෂිකාවේ සිට  මුළු සිරුරටම ඔක්සිජනීකෘත රුධිරය ලබාදෙන මහා ධමනිය (Aorta) ආරම්භ වේ.

හදවත තුල රුධිර ගමනාගමනය පාලනය කිරීමට දොරටු නැත්නම් කපාට (Valves) කිහිපයක් පිහිටා තිබෙනවා. එම කපාට මගින් හෘද කුටීර සංකෝචනය වී රුධිරය පොම්ප කල පසු, නැවත එම කුටීරය වෙත රුධිරය ආපස්සට පමුනීම වලක්වයි. දකුණු පස කර්ණිකාව හා කෝෂිකාව අතර කොටස්/පත්‍රිකා තුනකින් සැදි ත්‍රිතුන්ඩ (Tri-cuspid valve) කපාටයද දකුණු කෝෂිකාව හා පුප්පුශීය ධමනිය අතර අඩසඳ කපාටයද පිහිටයි. එලෙසම වම් පස කර්ණිකාව හා කෝෂිකාව අතර කොටස්/පත්‍රිකා  දෙකකින් සැදි ද්විතුන්ඩ (Bi-cuspid valve) කපාටය හා කෝෂිකාව හා මහා ධමනිය අතර අඩසඳ කපාටය පිහිටා ඇත. මෙම අඩසඳ කපාට (Semi-lunar valves) වලට එම නම ලැබී ඇත්තේ ඒවා අර්ධ වෘත්තාකාර කොටස් තුනකින් සැදී ඇති නිසයි. ඉහත රූපය බලද්දී ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න ඇති කණ්ඩරීය රජ්ජු කියන්නේ මොනවාද කියලා. ඒවා කුඩා රැහැන් විශේෂයක් වන අතර කෝෂිකා වල සිට ද්විතුන්ඩ හා ත්‍රිතුන්ඩ කපාට වල පත්‍රිකා වලට බැඳේ. එමගින් එම පත්‍රිකා වලට වැඩි ශක්තියක් ලැබේ.

හදවත ගැන තවත් තොරතුරු කතා කිරීමට මීළඟ ලිපියෙන් හමුවෙමු!

Advertisements
This entry was posted in මිනිස් සිරුර and tagged , , , , , , , , . Bookmark the permalink.

6 Responses to ඔබේ හදවත හඳුනාගන්න – 1

  1. arunishapiro පවසයි:

    විස්තරාත්මක සටහනක්. ස්තූතියි.

  2. නවම් පවසයි:

    මම හිතුවෙ ලියන්න අමතක වෙලාවත්ද කියල. බොහොම ස්තූතියි විස්තරාත්මක සටහනට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )