ඔබේ හදවත හඳුනාගන්න – 2 : හදවත තුල විද්‍යුත් පරිපථයක්?

අප කතාකරමින් සිටින්නේ හදවතේ ව්‍යුහය පිළිබඳවයි.

ඔබ දන්නවාද හදවත ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් පරිපථයකින් කියලා? එහෙම කීවාට, සියල්ලන්ගේම හදවත තුල වයර් කෑලි, බැටරි තියෙනවා කියලා බය වෙන්න එපා (කෘත්‍රිම හෘද ගතිකර/artificial pacemaker තිබෙන අය ඇරෙන්න). මෙම පරිපථය නැතහොත් “හෘද සන්නායක පද්ධතිය” (Conduction system of the heart) අපගේ හදවත තුල විද්‍යුත් ආවේග ක්‍රමානුකූලව බෙදා හැර, කර්ණිකා හා කෝෂිකා රිද්මයානුකූලව සංකෝචනය කිරීම මගින් හදවත ඵලදායී රුධිර පොම්පයක් බවට පත කරයි. එනිසා මෙහි ක්‍රියාකාරීත්වය අඩපන වීමෙන් අපගේ මරණය පවා සිදුවිය හැකිය.

හෘද සන්නායක පද්ධතිය සෑදී තිබෙන්නේ විශේෂිත හෘද සෛල වලිනි. නමුත් ඒ ගැන කතා කරන්න පෙර හදවතේ ඇති මාංශ පේශී සෛල හෙවත් හෘද සෛල ගැන යමක් කිව යුතුයි. මාංශ පේශී සෛල වල ව්‍යුහය හෝ එහි ක්‍රියාකාරීත්වය ගැන කලින් කතා නොකල නිසා පොඩි හැඳින්වීමක් දෙන්නම්. හෘද සෛල කලින් ලිපියක කතා කල මූලික සෛල ව්‍යුහය දරන මුත්, මේවා තව දුරටත් විශේෂණය වී තිබෙනවා. එම විශේෂණයන් සරලව සඳහන් කළහොත්;

හෘද මාංශ පේශී සෛල

1). ඇක්ටින් (Actin) හා මයෝසින් (Myosin) යන ප්‍රෝටීන පිහිටීම මගින් සංකෝචනය වීමට හැකිවීම. (හෘදය ගැහෙනවා කියන්නේ මෙම සංකෝචනය වීමටයි).

ඇක්ටින්  හා මයෝසින් යන ප්‍රෝටීන තන්තුමය ස්වරූපයක් ගන්න අතර, ඒවා එකිනෙක මැදි කරගත් මිටි වශයෙන් මේ සෛල තුල ඇහිරී ඇත. මෙම පිහිටීමෙන් ඒවා එකිනෙක මත ලිස්සා යෑමේ හැකියාවක් ලැබේ. මේ ඇක්ටින්  හා මයෝසින් තන්තු අතර සාපේක්ෂ චලිතය මගින් මාංශ පේශී සෛල වල සංකෝචනය සිදු වේ.

2). ස්වායක්ත උද්දීප්ත්‍යතාවය (Intrinsic Excitability), එනම් බාහිර ආවේගයකින් තොරව සංකෝචනය වීමේ හැකියාව.

සාමාන්‍ය මාංශ පේශී සංකෝචනයට, එම මාංශ පේශී සෛලයකට ස්නායුවක් මගින් විද්‍යුත් අවේදයක් ලබා දිය යුතුවේ. නමුත් හෘද සෛල සඳහා එවැනි අවශ්‍යතාවයක් නොමැත. ඒවාට ස්වයංක්‍රීය රිද්මිකව සංකෝචනය වීමේ හැකියාවක් ඇත. මෙම රිද්මය පාලනය සඳහා පමණක් ස්නායු ආවේග හා හෝමෝන උපකාරී වේ.

3). හෘද සෛල අතර ඇති ගැප් සන්ධි  (Gap Junctions) වලින් සැදි අන්තරස්තාපිත මඩල (Intercalated discs) ආධාරයෙන් විද්‍යුත් ආවේග එක සෛලයක සිට අනෙකට සම්ප්‍රේෂණය කල හැකි වීම.

සත්ව සෛල වල විශේෂිත සෛල වර්ග වන ස්නායු සෛල වල ආවේග ජනනය හා හා මාංශ පේශී සෛල වල සංකෝචනය සිදු වන්නේ ඉතා කුඩා විදුලි ධාරාවක් සෛල මගින් ජනනය කිරීමෙනි. එය සෛල පටලය හරහා සෝඩියම් (Sodium)හා පොටෑසියම් (Potassium) අයන හුවමාරු කර විද්‍යුත් විභවයක් (Electric potential) ඇති කිරීමෙන් කරනු ලබයි. හදවතේ සාම සෛලයකටම වෙන වෙනම වූ ස්නායු සැපයුමක් නැති අතර, හෘද ගතිකරය (Pacemaker) ආවේග ජනනය කර හදවත පුරා බෙදා හැර, මුළු හදවතම එකවර රිද්මිකව සංකෝචනය කිරීමට මේ අන්තරස්තාපිත මඩල උපකාරී වේ.

හෘද සන්නායක පද්ධතිය (Conduction system of the heart)

හෘද සන්නායක පද්ධතිය සෑදීමට උදව් වන හෘද සෛල හදවත් කුටීර බිත්තියේ ඇතුලත පෘෂ්ඨයට සමීපව පිහිටයි. හෘද සන්නායක සෛල ඉහත මා සඳහන් කල විශේෂණය වීම් දැරුවද ඒවා සංකෝචනය නොවේ. ඒ වෙනුවට විද්‍යුත් ආවේග ජනනය කර බෙදා හැරීම මගින් අනෙක් හෘද සෛල සංකෝචනය කිරීමට උපකාරී වේ.

මෙම පද්ධතියේ ආරම්භක ලක්ෂ්‍යය ලෙස සැලකෙන්නේ සයිනුඒට්‍රීය නෝඩය (Sinoatrial node)  හෙවත් SA නෝඩයයි.  මෙය පිහිටා තිබෙන්නේ උත්තර මහා ශිරාව, දකුණු කර්ණිකාවට ඇතුල් වන ස්ථානයට ආසන්නව, දකුණු කර්ණිකාව තුලයි. මෙහි ඇති සෛල මිනිත්තුවට 60-100 වාරයක් දක්වා ආවේග ජනනය කිරීමට හැකියාවක් දරයි. හදවතේ අනිත් සියලු හෘද සෛල වලට වඩා වැඩි වේගයකින් SA නෝඩ සෛල ආවේග ජනනය කර එය හදවත ගැහෙන වේගය පාලනය කරන නිසා හෘදයේ ගතිකරය (Pacemaker) ලෙස හැඳින්වෙනවා. SA නෝඩයේ ආවේග ජනන වේගය ස්නායු සැපයුම මගින් හා විවිධ හෝමෝන වල බලපෑම මගින් පාලනය කෙරේ.

SA නෝඩය තුල ජනනය වන ආවේග, සන්නායක මාර්ග තුනක් මගින් දකුණු කර්ණිකාව තුලටද, බක්මන් බණ්ඩලය (Buchmann’s bundle) මගින් වම් කර්ණිකාව වෙතටද ගෙන යයි. එමගින් කර්ණිකා වල සංකෝචනය වීම සිදුවේ. ඉහත සඳහන් දකුණු කර්නිකාවේ සන්නායක මාර්ග තුන මගින් එට්‍රියෝවන්ට්‍රිකියුලර් නෝඩය (Atrioventricular node) හෙවත් AV නෝඩය වෙත ආවේග ගෙන  ඒමද සිදුවේ. AV නෝඩය අන්තර් කර්ණික කෝෂික බිත්තියේ පිහිටන අතර (ඉහත රූපය බලන්න), කෝෂිකා වෙත ආවේග ගමන් කිරීම පාලනය කරනු ලබන්නේ මෙතැනිනි. සාමාන්‍ය ක්‍රියාකාරී හදවතක, මෙම AV නෝඩය මගින් ආවේග කෝෂිකා වෙත නිකුත් කිරීම පරක්කු කිරීමක් සිදු කරයි. එහි ප්‍රතිපලය වන්නේ කෝෂිකා කර්ණිකා වලට පසුව සංකෝචනය වීමයි. මෙහි වැදගත්කම නම් කර්ණිකා සංකෝචනය වී එහි ඇති රුධිරය කෝෂිකා වලට ලබාදුන් පසුව පමණක් කෝෂිකා වල සංකෝචනය ආරම්භ වීම සිදු කිරීමයි.

AV නෝඩයට පසු ආවේග හිස්  බන්ඩලයට (His Bundle) ගමන කරන අතර මෙය දෙකට බෙදී වම් හා දකුණු කෝෂිකා වෙත ගමන් කරයි. එම බණ්ඩල වලින් පන නගින කුඩා ප’කින්ජේ තන්තු (Purkinje fibers) කෝෂිකා බිත්තියට ආවේග සපයා කෝෂිකා වල සංකෝචනය සිදු කරයි.

මේ විස්තර කල පිළිවෙලට හදවත තුල විද්‍යුත් ආවේග ගමන් කිරීම හා හෘද ස්ඵන්ධනය සිදුවීම අප වෛද්‍ය විද්‍යාවේදී සයිනස්‌ රිද්මය (Sinus Rhythm) ලෙස හඳුන්වමු. මෙයින් වියුක්ත වන රිද්මයක් “ඇරිද්මියාවක්” (Arrhythmia) ලෙස හැඳින්වේ.

පහත වීඩියෝවෙන් මා මේ විස්තර කල ආවේග සැපයුම හා හදවතේ සංකෝචනය පිලිබඳ වැඩිදුර වැටහීමක් ලබා ගැනීමට හැකිවේ.

මෙම වීඩියෝවේ ECG සටහනක් ඇති බව දකින්න ඇති. අපට ECG නැත්නම් විද්‍යුත් කන්තුක රේඛන (ElectroCardioGram) ලබා ගැනීමට හැකි වන්නේ අපගේ හදවතේ ඇති මේ ඉතා කුඩා විදුලි පරිපථය නිසා වේ. ECG කියවීම පිලිබඳ ලිපියක් මම ඉදිරියට ලියන්නම්.

එහෙනම් නැවත හමුවෙමු. ඉතා ඉක්මනින් ලිපි පල කිරීමට නොහැකි වීම පිලිබඳ මගේ කනගාටුව.

Advertisements
This entry was posted in මිනිස් සිරුර and tagged , , , , , , , , , , . Bookmark the permalink.

6 Responses to ඔබේ හදවත හඳුනාගන්න – 2 : හදවත තුල විද්‍යුත් පරිපථයක්?

  1. Praසන්ன පවසයි:

    වැදගත් ලිපියක්. දිගටම ලියන්න.

  2. arunishapiro පවසයි:

    නිතර නොලැබුනාට කලාතුරකින් ලැබෙන අනගි මැණිකක් වගේ!!! ස්තූතියි වෙහෙසක් ගෙන මේ තොරතුරු එකතු කරනවාට.

  3. නවම් පවසයි:

    ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා – [නවම්-චූටිමැණිකේ-ලීනු]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )