අසිරිමත් මිනිස් සිරුර – 4 : මේදමය පටකය

මේදමය පටකය (Dense connective tissue) :

මේදමය පටකය

මේ තමා අපි හැමෝම කැමති නැති එක. අපි මහත් වෙන කොට වෙන්නේ මේ පටකයේ තව තවත් මේදය නැත්නම් තෙල් එකතු වෙන එක. මේ පටකේ තන්තු වර්ග නැහැ. තිබ්බත් ඉතාමත් සුළු වශයෙන්. මුළු පටකය පුරාම තෙල් එකතු කරන මේද සෛල පිරිලා තියෙනවා. එහා පැත්තේ තියෙන පින්තුරේ බැලුවොත් පෙනෙයි තෙල් ගිලලා ගිලලා මහත් වෙච්ච මේද සෛල එක එකට ලඟින් ඇහිරිලා ඉන්නවා. A – අකුරින් පෙන්නලා තියෙන්නේ න්‍යෂ්ටිය, B – වලින් පෙන්නන්නේ මේදය. පේනවනේ සෛල කොච්චර මහත් වෙලාද කියනවනම් න්‍යෂ්ටිය සෛලයේ පැත්තකට තල්ලු වෙලා.

මෙච්චර වෙලා මේද පටකය නරකක් වගේ කතා කලාට ඒකත් අපිට හුඟක් ප්‍රයෝජනවත්. නරක වෙන්නේ වැඩි නම් තමා, අර ඕනෑම දෙයක් ඕනවට වඩා වැඩියෙන් හොඳ නැහැ කියනවා වගේ. මේ පටකේ ප්‍රධාන කාර්යයන් වෙන්නේ අපිට කෑම අඩු වෙලාවට ශක්තිය දෙන්න මේදය ගබඩා කරන ඒකත්, අපේ සිරුරේ නිතර හැප්පෙන හා තෙරපෙන තැන් වලට වගේම වැදගත් ඉන්ද්‍රිය වලට  ආරක්ෂාවට කුෂන් එකක් වගේ ක්‍රියා කිරීමත්, ශරීරය උණුසුම්ව තබා ගන්න තාප පරිවාරකයක් විදිහට ක්‍රියා කිරීමත්. පිහිටලා තියෙන තැන් නම් උදාහරණ විදිහට වකුගඩු වටේට, ඇහැ වටේට, පියයුරු පෙන්නන්න පුළුවන්.

කෑම කෑවට පස්සේ අපේ ඇඟේ අවශ්‍යතාවයට වඩා පෝෂණය වැඩි නම් ඒ ඉතුරු හරිය ඇඟ පුරා තියෙන මේදමය පටක වැල තැන්පත් වෙනවා. එතකොට තමා ඔය බඩ වැඩි වෙන එක එහෙම වෙන්නේ. හොඳම වැඩේ අපේ ඇඟට අවශ්‍ය තරමට පමණක් කෑම කන එක. බඩජාරි කමට කන්නේ නැතිව. ඒ ගැන මම පස්සේ ලිපියක් ලියන්නම්.

එහෙනම් නැවත හමුවෙමු.

Posted in ප්‍රවර්ග නොකළ | එක් ප්‍රතිචාරයක්

අසිරිමත් මිනිස් සිරුර – 3 : සම්බන්ධක පටකය

දොස්තර මාමාට වැඩ කටයුතු ගොඩක් තිබ්බ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා. බ්ලොග් එක ලියන බාසාවේ පොඩි වෙනසකුත් කරන්න හිතුවා. මොකද කලින් ලියපු විදිහ කියවන අයට එච්චර රුචියක් ඇති කරන්නේ නැහැ කියල හිතුනු නිසා. ඔන්න එහෙනම් වැඩ පටන් ගත්තා.

මේ ලිපියත් කලින් ලියපු ලිපි හා සම්බන්ධයි. කලින් ලිපිය නතර කලේ අපිච්ඡද පටක වලින් නේ. මේ ලිපියෙන් අපි මිනිස් සිරුරේ තියෙන තව පටක වර්ගයක් වෙන සම්බන්ධක පටක වර්ගය ගැන කියවමු.

සම්බන්ධක පටක (Connective Tissue)

මේ පටක වර්ගයේ නමින්ම ඒකෙ ප්‍රධාන රාජකාරිය මොකක්ද කියල හිතාගන්න පුළුවන් නේ? මේක තමා අපේ ශරීරේ තියෙන හැම කොටසක්ම එකිනෙකට යා කරන්නේ. ඒ වගේම ශරිරයේ තියෙන අනිත් පටක හා සෛල වලට පිහිටන්න සැකිල්ලක් විදිහටත් මේක ක්‍රියා කරනවා. සම්බන්ධක පටක වර්ග ගොඩක් තිබ්බත්, ඒවා හැම එකකටම පොදු ලක්ෂණ කිපයක් තියෙනවා. ඒ තමා..

සම්බන්ධක පටක වලට පොදු ව්‍යුහය

1. සෛල (Cells) :
සම්බන්ධක පටකයක විවිධ වර්ගයේ සෛල ගණනාවක් තියෙන්න පුළුවන්. මේ සෛල තමා සම්බන්ධක පටකයක පෙනුම හා කරන කාර්යය තීරණය කරන්නෙත්, නඩත්තු කරන්නේත්. උදාහරණ විදිහට තන්තු සෛල (fibroblasts), මේද සෛල(adipose cells), විවිධ සුදු රුධිරාණු සෛල වර්ගත් (macrophages, mast cells, neutrophils, etc) පෙන්නන්න පුළුවන්.

2. තන්තු (Fibers):
සම්බන්ධක පටකයක ඇදෙනසුලු බව හා එහි ශක්තියත් තීරණය කරනෙනේ ඒකෙ තියෙන තන්තු වර්ග වලින්. කොලැජන් (Collagen) හා ඉලාස්ටින් (Elastin) කියන ප්‍රෝටීන් වර්ග දෙකෙන් හැදිච්ච තන්තු දෙවර්ගයක් තියෙනවා. මේ ප්‍රෝටීන හදන්නේ අර කලින් කියපු තන්තු සෛල (fibroblasts) කියන සෛල වර්ගෙන්. කොලැජන් තන්තු මිටි වගේ එකතු වෙලා ඒක තියෙන පටකයට ශක්තිය ලබා දෙනවා. ඉලාස්ටින් තන්තු ගහක අතු වගේ බෙදිලා බෙදිලා දැලක් වගෙ තියෙන්නේ. ඉලාස්ටින් තන්තු නමේ හැටියටම ඉලාස්ටික් වගේ ඇදෙනවා. ඒක හින්දා පටකයට ඇදෙනසුලු බවක් ලැබෙනවා. සයිඩ් එකේ තියෙන රූපෙ  බැලුවහම තවත් හොඳින් තේරේවි.

3. බහිස්සෛලීය මාධ්‍යය (Extra Cellular Matrix):
කලින් කියපු සෛල වර්ග හා තන්තු ගිලිලා ඉන්න අවකාශය තමා බහිස්සෛලීය මාධ්‍යය කියන්නේ. මේක ජෙලි එකක් වගේ තමා. හැදිලා තියෙන්නේ වතුර හා එක එක කාබෝහයිඩ්‍රේට (proteoglygans, hyaluronic acid, etc), ප්‍රෝටීන (laminin, fibronectin, etc) හා ඛනිජ ලවණ (calcium, phosphate, etc) වලින්. මේ ජෙලි එකක් වගේ තියෙන මාධ්‍යය ඒකෙ ගිලිලා ඉන්න සෛල හා තන්තු වලට ඉන්න අවකාශයක් සපයනවා වගේම, ඒවගේ පැවැත්මට උවමනා පෝෂ්‍ය ද්‍රව්‍යත් ලබා දීමට උදව් වෙනවා.

ඉතින් මේ කියපු ලක්ෂණ හැම එකක්ම තියෙන පටක වර්ග වලට නියම සම්බන්ධක (Proper Connective Tissue) පටක කියනවා. නියම සම්බන්ධක පටක තව විවිධ උප වර්ග වලට බදිලා තියෙනවා ඒවායේ තියෙන තන්තු වර්ගය හා ප්‍රමාණය අනුව. මම ඒ වර්ග ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

ක්ෂේත්‍රක පටකය

ක්ෂේත්‍රක පටකය (Areolar Tissue) :

සම්බන්ධක පටක වලට අදාල මුලික සැලැස්ම හොඳින්ම පෙන්වන පටකය තමා මේ. කොලැජන් හා ඉලාස්ටින් තන්තු සම ප්‍රමාණයෙන් වගේ තියෙන, ඉහත කියපු සෛල වර්ගත් හැම එකක්ම තියෙන පටකයක් මේක. අපේ ඇඟේ මස්පිඩු වටේට, ස්නායු වටේට හා වෙනත් අවයව ගණනාවක් ඇතුලේ මේ පටකය පිහිටලා තියෙනවා. කරන වැඩේ තමා ආවරණයක් සපයන එක, පෝෂ්‍ය ද්‍රව්‍ය හුවමාරුවට උදව වෙන එක, සැකිල්ලක් සපයන එක වගේ දේවල්.

වම් පැත්තෙන් තියෙන්නේ අන්වීක්ෂේකින් බලපුවහම පෙන හැටි. A – අකුරින් පේන්නේ තන්තු සෛල, B – අකුරින් පේන්නේ කොලැජන් තන්තු මිටි, C – අකුරින් පේන්නේ ඉලාස්ටින් තන්තු.

සුදු තන්තු පටකය

සුදු තන්තු පටකය (Dense connective tissue) :

කොලැජන් තන්තු මිටි ඉතා තදින් ඇහිරිලා තියෙන ඇහින් බලපුවාම සුදු පාටට පෙනෙන පටකයක්. මේ පටකය ඉතා ශක්තිමත්, පොඩ්ඩක් ඇදෙන්නත් පුළුවන්. මාංශ පේශි ඇටකටු වලට සම්බන්ධ කරන ඛණ්ඩරා (Tendons) හා ඇටකටු එකිනෙකට සම්බන්ධ කරන බන්ධනී (Ligaments) මීට හොඳම උදාහරණයයි. කුකුල් මස් කපන අය දැකල ඇති කුකුල් කකුල් වල මස් කටුවට හාවෙන්න කලින් සුදු පාට වයර් කෑල්ලක් වගේ කෑල්ලක් තියෙනවා. ඒවා තමා ඛණ්ඩරා කියන්නේ.

වම් පැත්තෙන් තියෙන්නේ අන්වීක්ෂේකින් බලපුවහම පෙන හැටි. A – අකුරින් පේන්නේ තන්තු සෛල, B – අකුරින් පේන්නේ කොලැජන් තන්තු මිටි. පේනවනේ කලින් රූපෙත් එක්ක බලපුවාම කොච්චර එක ලඟින් තන්තු මිටි ඇහිරිලා තියෙනවද කියලා?

කහ තන්තු පටකය

කහ තන්තු පටකය (Dense connective tissue) :

ඉලාස්ටින් තන්තු වැඩියෙන තියෙන ඉලාස්ටික් වගේ ඇදෙන පටකයක් මේක. එක හින්දා අපේ ඇඟේ ඇදෙන්න උවමනා තැන වැල මේ පටකය පිහිටලා තියෙනවා. මේවා ඇදෙනවා වගේම නැවත කලින් තිබුන තත්වෙටම පත්වෙන්නත් සමත්. ස්වරාලය, ධමනි බිත්ති, ශ්වාස නාල පද්ධතිය තුල මේ පටකය තියෙනවා. ඔය උදාහරණ හැම එකක්ම නිතර ඇදීමට ලක්වෙන තැන්.

පින්තුරේ තියෙන්නේ අන්වීක්ෂේකින් බලපුවහම පෙන හැටි. A – අකුරින් පේන්නේ ඉලාස්ටින් තන්තු,

මූලික සැලැස්මෙන් වෙනස්, ඒ වගේම විශේෂ කාර්යයන් කරන ඒවා විශේෂ සම්බන්ධක පටක (Special Connective Tissue) විදිහට හඳුන්වනවා. මේ වර්ග මම ඉස්සරහට ලියන ලිපි වලින් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඒවායේ ලිස්ට් එකක් විතරක් ලියන්නම්.

1. කාටිලේජ (Cartilage tissue)
2. අස්ථි (Bone Tissue)
3. රුධිරය (Blood)
4. මේද පටක (Adipose Tissue)
5. ඇටමිදුළු (Bone Marrow Tissue)

 

එහෙනම් කියෙව්වට ස්තුතියි! මේ ලිපි තව වැඩි දියුණු කරන්න උපදෙස් තියනවනම් මට කියන්න.

 

Posted in මිනිස් සිරුර | Tagged , , , , , | ප්‍රතිචාර 2

අසිරිමත් මිනිස් සිරුර – 2 : ශරීර පටකයන්

මම කලින් ලිපියේ සඳහන් කලා අපගේ ශරීර සෛලයේ පටන් ඉහලට සංකීර්ණ වන්නේ කෙසේද කියා. සෛලයට පසු හමුවන අදියර තමා “පටක” ( Tissues ) වශයෙන් හඳුන්වන්නේ. පටකයන් සෑදෙන්නේ සෛල ගණනාවක් එකතු වීමෙනි. සෛල වලට අමතරව එම් සෛල අතර හිදැසි තිබේ නම්, ඒවා සංකීර්ණ ප්‍රෝටීන, සංකීර්ණ කාබෝහයිඩ්‍රේට වැනි විවිධ කාබනික ද්‍රව්‍ය වලින් පිරී තිබේ.

පටක ප්‍රධාන වර්ග හතරකට බෙදීමට පුළුවන්.

1. අපිච්ඡද පටකය (Epithelial tissue)
2. සම්බන්ධක පටකය (Connective tissue)
3. මාංශපේශී පටකය (Muscle tissue)
4. ස්නායු පටකය (Nervous tissue)

 

අපිච්ඡද පටකය (Epithelial tissue)

අපිච්ඡටද පටක තමා සෑම විටම වගේ අපගේ ශරීර අභ්‍යන්තරය හා බාහිර අවකාශය අතර සීමාවේ පිහිටන පටක ස්ථරය. අපට පෙනෙන හා දැනෙන හොඳම උදාහරණය තමා අපගේ සම. අපිච්ඡදයක් හැදෙන්නේ සෛල තට්ටුවක් හා එම් සෛල වලට පිහිටීමට උදව් කරන බේස්මන්ට් මෙම්බ්‍රේනයකින් ( basement membrane – මීට යොදන සිංහල වචනය සොයාගන්න අමාරුයි. “අධ්‍යස්ථ පටලය” කීවොත් හරි ද? දත් අයෙක් වේ නම් දොස්තරමාමා ට පවසන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි).  අපිච්ඡද වලට පොදු අනිත් ලක්ෂණය තමා ඒවායේ සෛල එකිනෙකට සමීපව තදින් ඇසිරුණු තට්ටුවක් ලෙසින් පැවතීම. මෙම සැකැස්ම නිසා අපිච්ඡද වලට බැඳි මුහුණතක් හා නිදහස් මුහුණතක් ලැබේ. අපිච්ඡද වර්ග කිර්‍රීමට එහි ඇති මතුපිට ස්ථරයේ සෛල වල හැඩය හා සෛල ස්ථර ගණනාව යොදා ගැනේ. සෛල ස්ථර එකක් පමණක් නම් එය සරල (Simple) අපිච්ඡදයක් ලෙස ද සෛල ස්ථර එකකට වඩා වැඩි නම් එය ස්ථරීභූත (Stratified) අපිච්ඡදයක් ලෙස ද හැඳින්වේ. ඉහත රූපයේ අප සිරුර තුල පවතින විවිධ අපිච්ඡද පටක වර්ග වල මූලික සැකැස්ම සරලව දැක්වෙනවා. එම වර්ග ගැන හැඳින්වීමක් මා ඊලඟට දක්වන්නම්.

සරල ශල්කමය අපිච්ඡදය (Simple Squamous epithelium) : මීට “ශල්කමය” යන නම ලැබී ඇත්තේ එහි සෛල ඉතා තුනී පොත්තක් වැනි ස්වරූපයක් ගන්නා නිසාය. ශල්කමය සෛල ඉහලින් බැලූ විට බහුඅස්‍රාකාර හැඩයක් ගන්නා අතර පලළට වඩා උසින් ඉතා අඩුය. එනිසා ඉතාමත් තුනී පටලයක ස්වරූපයක් මෙයට ලැබේ. ශල්කමය සෛල වල න්‍යෂ්ඨිය පැතලි තැටියක් වැනි ස්වරූපයක් ගැනීම එයට හිමි අනිත් විශේෂත්වයයි. මෙම පටකය අප සිරුරේ විවිධ ද්‍රව්‍ය හුවමාරු වන ස්ථාන වල පිහිටයි. උදාහරණ වශයෙන් වායු හුවමාරුව සිදුවන පෙණහළු ගර්තිකා, පෝෂක ද්‍රව්‍ය හුවමාරු වන කේශ නාලිකා, අපද්‍රව්‍ය හුවමාරු කරන වෘක්කීය ගුච්ඡිකා දැක්විය හැකිය.

සරල ඝනාකාර අපිච්ඡදය (Simple Cuboidal Epithelium) : මෙම අපිච්ඡදයේ සෛල උස හා පළල සමාන නිසා පැති පෙනුම ඝනකයක හැඩයක් ගනී. ඝනාකාර සෛල වල න්‍යෂ්ඨිය ගෝලාකාර හැඩයක් ගනී. පිහිටා ඇති තැන අනුව, ඝනාකාර අපිච්ඡද වලින් කෙරෙන මූලික කාර්‍යයන් ලෙස හෝමෝන වැනි ද්‍රව්‍ය සංශ්ලේශනය, විවිධ ද්‍රව්‍ය ස්‍රාවය හා අවශෝෂණය කිරීම පෙන්විය හැකිය. මෙය ඇති තැන් ලෙස තෛරොයිඩය, අධිවෘක්කය වැනි ග්‍රන්ථි ද, වකුගඩු වල මුත්‍රා නිපදවන සිහින් නාලිකා ද උදාහරණ වේ.

සරල ස්ථම්භමය අපිච්ඡදය (Simple Columnar Epithelium) : මෙම අපිච්ඡදයේ සෛල පලළට වඩා උසින් ඉතා වැඩි නිසා පැති පෙනුම ඝනකාභයක/ස්ථම්භයක  හැඩයක් ගන්නා අතර න්‍යෂ්ඨිය ඉලිප්සාකාර පෙනුමක් ගනී. පිහිටා ඇති තැන අනුව විවිධ ද්‍රව්‍ය ස්‍රාවය හා අවශෝෂණය කිරීම මෙහි කාර්යය ලෙස පෙන්විය හැකිය. මෙය ඇති තැනකට හොඳම උදාහරණය අපගේ බඩවැල් වේ. බඩවැල් වල ඇති අපිච්ඡදයේ සෛල වල බඩවැල තුලට යොමු නොබැඳි මුහුනතේ මයික්‍රෝවිලයි (Microvilli) නම් ව්‍යුහ රාශියක් ඇත. මේවා ඉතා සියුම් ඇඟිලි වැනි සෛල ප්ලාසිම පටලයේම දිගුවන් වේ. එමඟින් බඩවැල් වල අවශෝෂනය සඳහා ඇති පෘෂ්ඨයේ වපසරිය වැඩි කෙරී ඇත.

ස්ථරීභූත ශල්කමය අපිච්ඡදය (Stratified Squamous Epithelium) : මෙය ඉහත සඳහන් ශල්කමය සෛල තට්ටු ගණනාවකින් සැදුනක් ලෙස දැක්විය හැකිය. නමුත් බේස්මන්ට් මෙම්බ්‍රේනය අසල ඇති සෛල ඝනාකාර හැඩයක් ගනී. අපගේ ශරීර අභ්‍යන්තරය, බාහිර පරිසරයෙන් එල්ල වෙන නොයෙක් අහිතකර බලපෑම් (උදා:- ඝර්ෂණය, තාපය, රසායනික ද්‍රව්‍ය, වියලීම) වලින් ආරක්ෂා කිරීමට මෙම පටකය අනුවර්තනය වී ඇත. අපට දැකිය හැකි හොඳම උදාහරනය සම වේ. මුඛය, ගලනාලය, යෝනි මාර්ගය වැනි අවයව වල බාහිරයට නිරාවරිත ඉහලම කොටස සාදන්නේ ද  මෙම අපිච්ඡදය වේ.

ස්ථරීභූත ඝනාකාර අපිච්ඡදය (Stratified Cuboidal Epithelium) හා ස්ථරීභූත ස්ථම්භමය අපිච්ඡදය (Stratified Columnar Epithelium) : මෙම අපිච්ඡද වර්ග දෙක අප ශරීරයේ ඉතා අඩු වශයෙන් පිහිටා ඇත.  බොහෝ විට මේවා විවිධ ග්‍රන්ථි නාලිකා (උදා: දහඩිය ග්‍රන්ථි නාලිකා, පියයුරු වල ක්ෂීර ග්‍රන්ථි නාලිකා) වල පිහිටයි. නැත්නම් යම් කිසි ව්‍යුහයක එක් අපිච්ඡද වර්ගයකින් තවකෙකට මාරු වන සීමාවල පිහිටයි (උදා : ගුද මාර්ගය හා ගුදය අතර සීමාව).

ව්‍යාජ්‍ය-ස්ථරීභූත ස්ථම්භමය අපිච්ඡදය (Pseudo-Stratified Columnar Epithelium) : මීට ව්‍යාජ්‍ය යන විශේෂණය ලැබෙන්නේ එහි සෛල තනි ස්ථරයක් පැවතිය ද එම සෛල සියල්ල නදහස් මුහුණතට නොපැමිණීම හේතුවෙන් ස්ථරීභවිත පෙනුමක් ඇති නිසාය. සෛල වල පෙනුම ස්ථම්භාකාර වේ. මේවායේ නිදහස් මූණතේ සෑම විටම පාහේ මෛක්‍රෝවිලයි, සිලියා (Cilia) විවිධ වැනි සෛලීය උපාංග ඇත. මෙම පටකය පිහිටි ස්ථාන ලෙස අප ඉහල ශ්වසන පද්ධතිය (නාසය, ශ්වාසනාලය), පුරුෂ ප්‍රජනක පද්ධතියේ නාලිකා (මුංචකය, අපසාහී වාහිණිය) උදාහරණ වේ.

සංක්‍රාමික අපිච්ඡදය (Transitional Epithelium) : මේ ඉතාමත් විශේෂිත අපිච්ඡදයකි. එහි සෛල වලට ඉන්ද්‍රියයේ අවශ්‍යතාවය පරිදි හැඩය වෙනස් කර ගැනීමට හා එමඟින් පටකයේ සෛල ස්ථර ගණන වෙනස් කිරීමට හැකියාවක් පැවතීමත් නිසා සංක්‍රාමික අපිච්ඡදය ලෙස මෙය නම් කෙරේ. මෙය පිහිටා ඇත්තේ වෘක්ක ශ්‍රෝණියේ සිට මුත්‍ර වාහිණිය හා මුත්‍රාශය දක්වා අපගේ මුත්‍රා පද්ධතිය පමණක් ඇසුරු කරගෙන වේ. මෙම අවයව මුත්‍ර වලින් පිරී ඇති විට, අපිච්ඡදය ප්‍රසාරණය වී තුනී පෙනුමක් ගන්නා අතර මූත්‍රා පිට කල පසු සංකෝචනය වී නැවත ඝන ස්ථරමය පෙනුමක් ලබා ගනී.  තවද මෙම අපිච්ඡදයේ සෛල එකිනෙක හා තදින් බැඳී ජලය, ඛනිජ ලවණ හා බහිශ්‍රාවීය අපද්‍රව්‍ය වලට එතුලින් ගමන් කිරමට නොදෙන බාධක පවුරක් ලෙස ක්‍රියා කරයි. එමඟින් මූත්‍ර වල ඇති බහිශ්‍රාවී අපද්‍රව්‍ය නැවත සිරුරට ඇතුල්වීම වැලකේ.

දොස්තරමාමලා මේවා ගැන ඉගෙන ගත්තේ පටක විද්‍යාව (Histology) නම් පාඩමකින්. එයින් අපට මෙම පටක වර්ග වල ස්වරූපය, ක්‍රියාකාරීත්වය හා ප්‍රයෝජනය ඉගෙන ගන්න ලැබුණා. මගේ සිත්ගත්ම වැඩක් උනේ මේවා අණ්වීක්ෂයෙන් බැලීමයි. ඔයාලටත් ඒ අණ්වීක්ෂයෙන් පෙනෙන ආකාරය දැක්වීමට බලාගන්න මම පහත රූප ටික ඇමුණුවා.

පෙණහළු ගර්තිකා : සරල ශල්කමය අපිච්ඡදය (Simple Squamous epithelium)

තෛරොයිඩ් ග්‍රන්ථිය : සරල ඝනාකාර අපිච්ඡදය (Simple Cuboidal Epithelium)

කුඩා බඩවැල : සරල ස්ථම්භමය අපිච්ඡදය (Simple Columnar Epithelium)

 

ගලනාලය : ස්ථරීභූත ශල්කමය අපිච්ඡදය (Stratified Squamous Epithelium)

 

සම : ස්ථරීභූත ශල්කමය අපිච්ඡදය (Stratified Squamous Epithelium)

 

ස්වේත (දහඩිය) ගන්ථි නාලිකා : ස්ථරීභූත ඝනාකාර අපිච්ඡදය (Stratified Cuboidal Epithelium)

 

ඛේඨ ග්‍රන්ථි නාලිකාවක් : ස්ථරීභූත ස්ථම්භමය අපිච්ඡදය (Stratified Columnar Epithelium)

 

වෘෂණ මුංචකය : ව්‍යාජ්‍ය-ස්ථරීභූත ස්ථම්භමය අපිච්ඡදය (Pseudo-Stratified Columnar Epithelium)

 

මුත්‍රාශය : සංක්‍රාමික අපිච්ඡදය (Transitional Epithelium)

හැකි තරම් සරල ලෙස ලිවීමට උත්සාහ කලත් මෙම ලිපි අවසානයේ ඉතා දිගු වේ. ඔබගේ ප්‍රතිචාර හා අදහස් ලියන්නේ නම් මම ඉතා සතුටු වෙමි. එවගේම ඔබට මෙම ලිපියේ අන්තර්ගත කරුණු පිළිබඳ ගැටලු ඇත්නම් මම එවාට පිළිතුරු සැපයීමට මාගේ දැනුමේ හැටියට උත්වසාහ කරමි. මෙම දීර්ඝ ලිපිය කියව්වාට ඔබට තුති.

Posted in මිනිස් සිරුර | Tagged , , | ප්‍රතිචාර 3

අසිරිමත් මිනිස් සිරුර -1 : සෛල

මිනිස් සිරුර ස්වභාවධර්මයේ නිර්මාණ අතරින් මුදුන් මල්කඩයැයි කිවහොත් එය අතිශයොක්තයක් නොවනු ඇත. බොහෝ දෙනෙකු හට‍ කුතුහලය දනවන මෙම මිනිස් සිරුර සැදී ඇත්තේ කෙසේද?, එය ක්‍රියා කරන්නේ ක්සේද? එය ලෙඩ රෝග වලට බඳුන් වන්නේ ක්සේද? යන ප්‍රශ්න වලට සරල පිළිතුරක් දීම මෙම බ්ලොගයේ අරමුණයි.

අප මේ ජීවත්වන විශ්වය තුල පවතින සෑම ​දෙයක්ම ගොඩ නැගී තිබෙන්නේ පරමාණු හා ශක්තිය සංයෝජනය වීමෙනි. මිනිස් සිරුරද මෙම පොදු ධර්මතාවයට අණුව තැනී ඇත. නමුත් පරමාණු හෝ ශක්තිය හෝ අපගේ පන්චේද්‍රියයන්ට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි දේ නොවන අතර, මිනිස් සිරුර ගැන කතා කිරීමේදී එහි මූලික තැනුම් ඒකකය ලෙස සෛලය සැලකීම වඩාත් සුදුසු වේ. මන්ද යත් අපට ගෝචර වන, පහසුවෙන්ම දැකගත හැකි (අණ්වීක්ෂයක් ඇසුරෙන්) කුඩාම තැනුම් ඒකකය සෛලය නිසාය. මිනිස් සිරුරේ සංකීර්ණතාවය පහත පරිදි කැටි කොට දැකිවිය හැකිය.

සෛල → පටක → ඉන්ද්‍රීය → පද්ධති → ශරීරය

සත්ත්ව සෛලය..

අපගේ ශරීර තැනීමට දායක වී ඇති සෛල “යුකැරියොටික සෛල” (Eukaryotic cells) ලෙස නම් කර ඇත. මෙය බැක්ටීරියා සැදී ඇති “ප්‍රෝකැරියෝටික සෛල” (Prokaryotic cells) වලට වඩා පරිණාමිකව උසස් ලෙස සැලකේ.

වම් පස දැක්වෙන රූපයේ ඇත්තේ ස‍රල යුකැරියෝටික සෛලයක සාමාන්‍ය සැකැස්මයි. එහි දැක්වෙන ලෙස, සෛලය ගොඩනැගීමට ඉතා කුඩා සෛලීය ඉන්ද්‍රයිකා (Organelles) උපකාරී වන අතර ඒවා සෛලයක පැවැත්මට උවැසි විවිධ ක්‍රියා ඉටු කරයි.

මූලික වශයෙන් කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ හා න්‍යෂ්ඨික අම්ල යන රසායනික අණු වර්ග හතර, මෙම සෛලීය ඉන්ද්‍රයිකා ගොඩනැගීමට ද ඒවායේ ක්‍රියාකාරීත්වයට ද උපකාරී වේ. මීලඟට මෙම සෛලීය ඉන්ද්‍රයිකා මොනවා දැයි පොඩ්ඩක් බලමු.

සෛල පටලය (Cell membrane) : සෛලයක සීමාව ලකුණු කරන ඉතා තුනී පටලයකි. ප්‍රධාන වශයෙන් ලිපිඩ හා ප්‍රෝටීන වලින් සැදී ඇත අතර කාබෝහයිඩ්‍රේට් අණු සුළු වශයෙන් ඇත. සෛලය හරහා තුලට හා ඉන් පිටතට විවිධ ද්‍රව්‍ය වල හුවමාරුව, සෛල අතර සන්නිවේදනය හා ඇතුලත සෛලීය අවයව වල ආරක්ශාව මෙහි ප්‍රධාන කාර්‍ය්යන් වේ.

සෛල ප්ලාස්මය (Cytoplasm) : සෛලීය අවයව ගිලී ඇති තරලමය අවකාශය මෙයයි. ජලය මෙහි සංයුතියෙන් වැඩි ප්‍රතිශතයක් ගන්නා අතර, සෛලයේ විවිධ ක්‍රියාකාරීත්වයන්ට දායක වන රසායනික අණු ඊට අමතරව ඇත. සෛලය තුල නොයෙක් රසායනික ප්‍රතික්‍රියා සඳහා මාධ්‍යය සපයන්නේද මෙය වේ.

න්‍යෂ්ඨිය (Nucleus) : සෛලයක පාලක මධ්‍යස්ථානය න්‍යෂ්ඨියයි. මෙය සෛල පටලය බඳු පටල දෙකකින් වටවී ඇති ක්‍රෝමසෝම (Chromosomes) හා න්‍යෂ්ඨිකාව (Nucleolus) පිරි මධ්‍යයකින් සැදී ඇත. ක්‍රෝමසෝම මූලික වශයෙන් ඉතා තදින් ඇසිරුණු ඩී.එන්.ඒ. (DNA) නමැති අණු වර්ගයෙන් තැනී ඇත. මිනිස් සිරුරේ සාමාන්‍ය සෛලයක මෙවන් ක්‍රෝමසෝම 46ක් ඇත. අපගේ ප්‍රවේණික තොරතුරු රැගෙන යන ජාන නිර්මාණය පිහිටා ඇත්තේ මේවා තුලය. න්‍යෂ්ඨිකාව ආර්.එන්.ඒ. (RNA) අණු වර්ගයෙන් තැනී ඇත. ඩී.එන්.ඒ. හා ආර්.එන්.ඒ. න්‍යෂ්ඨික අම්ල දෙවර්ගයක් වේ. ක්‍රෝමසෝම ඩී.එන්.ඒ. තුල ඇති ජානමය කේත, ආර්.එන්.ඒ කේත බවට පරිවර්තනය කර න්‍යෂ්ඨියෙන් පිට කෙරේ. සෛල ප්ලාස්මය තුලදී ප්‍රෝටීන තැනෙන්නේ මෙම ආර්.එන්.ඒ කේත වල ගබඩා වී ඇති තොරතොරු අනුවය. ඉන්පසු එම ප්‍රෝටීන සෛලීය ක්‍රියා පාලනය කරයි. න්‍යෂ්ඨියෙන් සෛලය පාලනය කෙරෙන්නේ මෙලෙසටය.

මයිටකොන්ඩ්‍රියා (Mitochondria) : සෛලයීය ක්‍රියා සඳහා ශක්තිය නිපදවන බලාගාර මයිටකොන්ඩ්‍රියා වේ. මේවා සෛල න්‍යෂ්ඨිය මෙන් තුනී පටල දෙකකින් වටවූ ව්‍යුහයන් වන අතර, ශක්තිය නිපදවීමට අවශ්‍ය එන්සයිම (Enzymes) (එන්සයිම යනු විවිධ රසායනික ප්‍රතික්‍රියා වේගවත් කිරීමට උදව් වන ප්‍රෝටීන වර්ග වේ) ශ්‍රේනි වශයෙන් මෙම පටලයන්හි සංවිධානය වී ඇත. සීනි වර්ග (sugars), ඇමිනෝ අම්ල (amino acids) හා මේද අම්ල (fatty acids) බිඳ හෙලීමෙන් පිටවන තාප ශක්තිය ඒ.ටී.පී. (ATP) නම් අණු වර්ගයක ගබඩා කිරීම මයිටකොන්ඩ්‍රියා වලින් සිදු කෙරේ. පසුව මෙම ඒ.ටී.පී. අණු සෛලයේ අනෙකුත් රසායනික ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙයි.

රයිබසෝම (Ribosomes) : ඉතා කුඩා පටලයකින් වෙන් නොවූ ව්‍යුහයන් වේ. මේවා සෛල ප්ලාස්මය පුරා විහිදී ඇත. න්‍යෂ්ඨියෙන් නිපදවනු ලබන ආර්.එන්.ඒ කේත ප්‍රෝටීන බවට පෙරලන්නේ රයිබසෝම මඟිනි.

අන්තඃ-ප්ලාස්ම පටල (Endoplasmic Reticulum) : මේවා සෛල පටලයට සමාන තුනී පටල පවලින් තැනී ඇත. අන්තඃ-ප්ලාස්ම පටල රළු (Rough Endoplasmic Reticulum) හා සුමුදු (Smooth Endoplasmic Reticulum) වශයෙන් දෙවර්ගයකි. රළු ඒවායේ පටලයට බාහිරව රයිබසෝම බොහෝ සොඛ්‍යාවක් බැඳී ඇති අතර, ඉන් වන ප්‍රධාන කාර්‍යය සෛලය තුල ප්‍රෝටීන තැනීම හා එම් ප්‍රෝටීන තවත් සංකීර්ණ අණු බවට පත් කිරීමය. සුමුදු අන්තඃ-ප්ලාස්ම පටල මගින් විවිධ කාබෝහයිඩ්‍රේට, ලිපිඩ වර්ග නිපදවීම, කැල්සියම් අයන ගබඩා කිරීම හා හානිකර ද්‍රව්‍ය, හානිකර නොවන ද්‍රව්‍ය බවට පත් කිරීම වැනි කටයුතු ඉටු කරයි.

ගොල්ජී දේහ (Golgi Bodies) : සෛල පටලයට සමාන පටල වලින් නිර්මිත තැටි සමූහයක එකතුවක් ලෙස මෙය දිස්වේ. මෙහි කර්තව්‍යය නම් සෛලය තුල නිපදවන විවිධ ප්‍රෝටීන, ලිපිඩ වැනි දේ කුඩා පටලමය බහලුම් වල පිරවීමය. එම බහලුම් සමහර සෛලීය කාර්යයන් සඳහා උපයෝගී කර ගන්නා අතර, බොහෝ විට සෛලයෙන් පිටතට ප්‍රවාහනය වන ද්‍රව්‍ය වලින් පිරී ඇත.

 

තවත් ඉන්ද්‍රයිකා ගණනාවක් ඇතත් ප්‍රධාන ඉන්ද්‍රයිකා ඉහත සඳහන් ඒවා වේ. මීලඟ ලිපියෙන් නැවත හමුවෙමු.

Posted in මිනිස් සිරුර | ප්‍රතිචාර 4